හැමදාම උදේට ඇහැරෙනකොට දුවගෙන් Good Morning මැසේජ් එක ඇවිත් තියෙනව. මම ඒකට ආපහු මැසේජ් එකක් දානව. මේ පණිවුඩය හැමදාම දුවත් මාත් අතර හුවමාරු වෙනව. කතා කරන්න තියෙන දේවල් අපි පස්සෙ කතා කරනව. එදා උදේ දුවගෙන් Good Morning මැසේජ් එක ඇවිත් තිබුණෙ නැහැ. මට හරි පුදුමයි, මම ඉක්මනින් මැසේජ් කරත් දුව පණිවුඩය බලන්නෙ නැහැ. දිගින් දිගටම යැව්වත් බැලුවෙ නැහැ. පස්සෙ මම කතා කළා. වට්ස් ඇප් විතරක් නෙමෙයි වොයිස් කෝල් පවා ගත්ත එයා ආන්සර් කරේ නැහැ. මට ලොකු බයක් දැනුණා. ඒ වෙලාවෙ ඉදල මම දුව ගැන හොයන්න පුළුවන් හැම දෙයක්ම කළා‘
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීණියක සහ රූපලාවණ්‍ය ශිල්ප ආචාර්යවරියක වන තිරාණි පීරිස් එසේ පැවසුවේ තම එකම දියණියගේ වියෝව ගැන වාවා ගත නොහැකි ශෝකයෙනි.
තිරාණි පීරිස් යනු සිනමා, ටෙලි නාට්‍ය, මෙන්ම කලා ලොවේ සියලු දෙනා දන්නා නාමයකි. එමෙන්ම කලාවට ඇල්මක් දක්වන අයද ඇයගේ රූපලාවණ්‍ය ඇකඩමිය නිසාද බොහෝ දෙනෙක් ඇය හඳුනති.
තිරාණි පිරීස්ගේ එකම දියණිය වන නෙතාෂා පීරිස් හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබුණි. ඒ අහල පහලක නොව මැලේසියාවේදීය. උසස් අධ්‍යාපනය පිණිස ගොස් සිටියදී ඇය මෙසේ මියයාම අදහාගත නොහැක්කකි. එමෙන්ම ඇය නීරෝගිය. තුරුණු වියට පිවිසෙමින් සිටි නෙතාෂාගේ 20 වෙනි ජන්ම දිනය යෙදී තිබුණේ මේ වසරේ අගෝස්තු මස 31 වෙනිදාටය.
විසි වයසක් යනතුරු ඇසක් මෙන් තම දියණිය දෙස බලා සිටි මවකට තම දියණිය එසේ මෙලොව අතහැර යාම කෙසේ නම් ඉසිලිය හැකිද?
තිරාණිට කතා කර ගැන්මට පවා අපහසුය. එහෙත් තම දියණිය ගැන ඇතිවන හැඟීම්බර අදහස් ඇය කැටි කළාය.
‘‘දුවගෙන් කිසිම උත්තරයක් නැති නිසා මම එයාගෙ කැම්පස් එකේ ඉන්න යාළුවන්ට කතා කරා, බෙල් එක ගහන්න කතා කරන්නෙ නැත්නම් දොර කඩන්න..... මම කෑගහල එයාලට කිව්ව, දුවගෙ යාළුවො කාමරේ ඇරගෙන එයාව ඉක්මනින් ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් තියෙනව, ඒ වෙනකොටත් එයා හරි අමාරුවෙන් ඉදල තියෙන්නෙ, ඒ ඉස්පිරිතාලෙට වඩා වෙනත් තැනකට ගෙනියන එක හොඳයි, ඒත් ගාණ වැඩියි කියල කිව්වා. මම කිව්ව ගාණ කීයක් වුණත් කමක් නැහැ ඉක්මනට ඇඩ්මිට් කරන්න කියල.”
මේ සිදුවීම වූයේ පසුගිය 11 වෙනිදාය. සාමාන්‍යයෙන් පෙරවරු 6.30ට 7.00ට පමණ නෙතාෂාගෙන් මව වන තිරාණිට Good Morning මැසේජ් එක නොපැමිණි නිසා ඇය කලබල වූයේ නෙතාෂා මැලේසියාවට ගිය පසු සෑම දිනකම අලුයම එම පණිවිඩය එවන නිසාය. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30 යනු මැලේසියාවේ වේලාව පෙරවරු 4.00ය. අනිවාර්යෙන්ම දියණිය අවදි වූ විගස එවන පණිවුඩය නොමැතිවීම නිසා තිරාණි සිය සියලු කටයුතු පසෙක දමා දියණිය ගැන සොයන්නට වූවාය. මහල් නිවසක කාමරයක තනිවම නේවාසිකව සිටිමින් නෙතාෂා උසස් අධ්‍යාපනයේ නිරත වූවාය. තිරාණිගේ දැනුම් දීමට අනුව කාමරයේ දොරගුළු කඩා ඇය ගැන සොයා බලන්නට ඇයගේ විශ්වවිද්‍යාල මිතුරෝ කටයුතු කළහ. යහනින් නැඟිට ගැනීමට පවා අපහසුව සිටි නෙතාෂාගේ කාමරයේ දොරගුළු කඩා ඇතුළු වීමටද ඔවුන්ට යම් වෙලාවක් ගතව තිබේ.
‘‘එයාට අසනීපයි කියල දැනගත්ත ගමන් මම තීරණය කළා මැලේසියාවට යන්න. ඉක්මනින් මැලේසියාවට ටිකට් එකක් ගත්ත. දුවගේ අසනීපය හා සිදුවීම් දැනුම් දීල පැය දෙකෙන් වීසා එකත් ගත්ත. ඒ සේරම කරගන්න අතරේ දුවගේ අවශ්‍යතා ගැන සොයා බලන්න කියල මම එහේ ඉන්න දුවගෙ යාළුවන්ටත් කිව්වා.
මම රෑ 8.00 වෙනකොට එයාර්පෝර්ට් යන්න ලෑස්ති වුණා. තනිවමයි යන්න සූදානම් වුණේ. ඊට කලින් කොයිතරම් රට ගිහින් තිබුණත් මම කවදාවත් තනියම රට ගිහින් නැහැ. ඒ වුණත් දුවගෙ අසනීපය මේ සේරටම වඩා වැදගත් නිසා ඕනම දේකට මුහුණ දෙන්න බලාගෙන මම යන්න සූදානම් වුණා. දුවට සිහිය නැහැ කියපු නිසා ලස්සනට ඇදගෙනත් ගියා, මොකද එයාට සිහිය එනකොට මම ලස්සනට ඇදගෙන හිටියෙ නැත්නම් එයාට දුක හිතෙයි කියල.
ඒත් එක්කම ස්ටෑන්ඩ් එක උඩ තියල තිබුණු දුවගෙ පොටෝ ටික එක පිට එක වැටුණා. මම ඒ ටිකත් හරියට පෙළ ගස්වන්න කියලා එයාර්පෝර්ට් යන්න කියල සෙරෙප්පුව දාන්න හදනව හදනව ඒත් සෙරෙප්පුව පෙරෙළනවා දාගන්න බැහැ, මොන බාධාවක්ද කියල හිතල ඒක දාගන ඉවර වෙනකොට කෝල් එකක් ආව මගේ ෆෝන් එකට, මම දන්නෙ නැහැ ඇයි කියල ඒ කෝල් එක මම ආන්සර් කළේ නැහැ. පුතාට කිව්ව ආන්සර් කරන්න කියල, ඒක ආන්සර් කරපු පුතයි මහත්තයයි දෙන්නම විලාප දිදී අඬන්න ගත්තා, මම එයාලට කිව්වා අපේ දුවට කිසිම කරදයක් වෙන්නේ නැහැ, එයා දැන් හොඳ තත්ත්වයෙන් කියල කෝල් එකක් එයි කියල.
ඒත් එක්කම මගේ ඉදිරිය සේරම බොඳ වෙනව වගේ දැනුණා, මතකය ගිලිහිලා යන්න පටන් ගත්තා, කිසිදා සිදු නොවුණු තේරුම් ගන්න බැරි මොකක්ද මගේ වටේ කැරකෙනව වගේ දැනුණා.”
2003 වසරේ අගෝස්තු මාසයේ 31 වෙනි දින උපත ලැබූ නෙතාෂා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලැබුවාය. ඇය පාසල් කාලයේ සිටම බාස්කට් බෝල් ක්‍රීඩාවට මෙන්ම පිහිනීමට ශූරියකි. ක්‍රීඩාවන්ද ඇය දුරස් කර තිබුණේ නැත. ඇයගේ එකම බලාපොරොත්තුව වූයේ මොළය සම්බන්ධ වෛද්‍යවරියක වීමය. ඒ බලාපොරොත්තුව මල් ඵල ගන්වා ගැනීම පිණිස ඇය මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට ගියාය. එහිදී තම අධ්‍යයන කටයුතු පහසු කර ගැනීම පිණිස ඇය මහල් නිවාසයක වෙනම කාමරයක නවාතැන් ගත්තාය.
එහිදී රාත්‍රියේ හෝ උදෑසන ඇයගේ ශරීරයේ සීනි සාන්ද්‍රණය අඩුවීම නිසා ඇය යම් අප්‍රාණික තත්ත්වයට පත්ව තිබෙන බවට වාර්තා වේ. එයින් පසුව ඇයගේ කාමරයේ දොරගුළු කඩා ඇය රෝහල් කරා ගෙන ගියත් ඇය පියවි තත්ත්වයට පත් නොවී දිවියෙන් සමු ගත්තාය.
නෙතාෂා ගැන බොහෝ අය සොයා බලන්නට වූයේ ඇයගේ මරණයෙන් පසුවය. ඇයට යන්තම් තේරෙන වයසේ සිටම ඇය මස් මාංශයෙන් තොර වූවාය. ඒ වයස අවුරුදු 10දී පමණ සිටය. අම්මාටත් තාත්තාටත් එකම වැඩිමල් සහෝදරයාටත් ඇය දැක්වූයේ පුදුමාකාර ආදරයකි. වැඩිහිටියන්ගේ දැනමුතුකම් අබිබවා යන්නට ඇය කටයුතු කළේ නැත.
එහෙත් ඇය නිවෙසේ බොහෝ දේ ගැන තීරණ ගැන්මට අනෙක් අය යොමු කළාය.
‘‘ගෙදර බිත්තිවලට ගාන පාට තීරණේ කළෙත් එයයි. මොනව හරි වෙනසක් කරන්න ඕන නම් ඒ ගැන කිව්වෙත් එයයි. මොනෑෂ්වලට ගිහින් දැන් අවුරුදු දෙකහමාරක් වෙනව, තව අවුරුදු 5කින් දොස්තර කෙනෙක් වෙලා ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යන්න හිටියෙ. ඒ සේරම සැලසුම් එයා හදල තිබුණෙ. ඒ විදිහෙ පුදුමාකාර සැලසුමක් දුවට තිබුණා, මස් මාළු නොකනව විතරක් නෙමෙයි එයා මදුරුවෙක්වත් මරන්නෙ නැහැ, එහේ බෞද්ධ සමාජයේ එයා මුල් තැනක් අරගෙන කටයුතු කළා, ලංකාවට ආවත් වැඩියෙන්ම යන්න ආස කරේ නුවර.”
තිරාණිගේ ස්වාමිපුරුෂයා එනම් නෙතාෂාගේ පියා නීතිඥවරයකු වන චිත්‍රාල් පීරිස්ය. නෙතාෂාගේ එකම සොහොයුරා වන හසිත පීරිස් නීති ශිෂ්‍යයෙකි. තම දියණිය අවුරුදු 70ක් ජීවත් වන බවට ජ්‍යෙතිෂවේදීන් විසින් කළ පූර්ව දැනුවත් කිරීම ගැන තිරාණිගේ ලොකු විශ්වාසයක් තිබුණාය. ඒ නෙතාෂාගේ දිවි පැවැත්ම නිසාය. කිසිවකුට කරදයක් හිරිහැරයක් නොකර කාගෙන්වත් කිසිදු ආකාරයක ඇනුම් බැණුම් නොඅසා කටයුතු කළ නෙතාෂා පවුලේ පමණක් නොව තිරාණිගේ සේවය බලාපොරොත්තුවෙන් එන අයගේ සුරතල් බෝනික්කියද වූවාය.
තිරාණි පීරිස්ගේ එකම බලාපොරොත්තුව වූයේ දියණිය වෛද්‍යවරියක වූ පසුව ඇයගේ දූ දරුවන් බලාගෙන ඇයගේ සමීපයේ දිවි ගෙවීමය.
‘‘මම දුවට කියල තිබුණෙ මම ඔයාගෙ සර්වන්ට් වෙන්නම් කියලා, දරුවො බලාගෙන දුව ඉන්න ගෙදර හරි, නැත්නම් එයාලට කරදරයක් නම් කිට්ටුව වෙනම ගෙදරක හරි ඉන්නම් කියල, එයා ඈත්වෙනවට මම කැමැති වුණේම නැහැ, පොඩි ඉරිසියාවකුත් ඇතිවුණා එයා විවාහ වෙලා මගෙන් ඈත් වෙනව කියල දැනුනහම, ඒත් මගේ හිතේ දුක දන්න අය මට කිව්වෙ ඔයා අම්මගෙන් වෙන් වෙලා ආව වගේ ඔයාගෙ දුවත් කවද හරි වෙන්වෙලා යන්න ඕන කියල, ඒකෙන් මගේ හිත ටිකක් හැදුණ. මම බුදු දහම ගොඩක් විශ්වාසයෙන් අදහනව, ඒත් මට හිතාගන්න බැහැ මේ තරම් ආගමට දහමට ළැදි දරුවෙකුට මේ වගේ දෙයක් වුණේ ඇයි කියල, ඒ වුණත් මම අද ඉදල බුදු දහම ගැඹුරින්ම අදහනව,
දුව එයාගෙ ආදරවන්තය ගැන මගෙන් ඇහුවෙ අවුරුදු 15දි, මම ඒවෙලාෙව දුවට කිව්වෙ ඔයා තවම ඉස්කෝලෙ යනව, ඒ නිසා මම ඒ සම්බන්ධයට කැමති 50%ක විතරයි කියල, මම සමාජය ගැන නොදන්න අම්ම කෙනෙක් නෙමෙයි, ඒත් දුවගෙ හිත රිදෙයි කියල එක පාරටම එයාගෙ අදහසට විරුද්ධව කතා කළේ නැහැ, එයාට තේරෙන්න දුන්නා කළ යුත්තේ මොකද්ද කියල, එයා මැලේසියාවට ගියාට පස්සෙ ඇහුව ඒ ගැන අම්මගෙ දැන් අදහස මොකක්ද කියල, ඒ වෙලාවෙ මං කිව්වෙ දැන් 70%ක් කැමතියි කියල, ඉතිරි ටික ඔයා අවුරුදු 5දි තේරුම් ගත්තයින් පසුව කියන්නම් කියල කිව්ව, මම ඒ පුතාවත් හොඳින් දන්නව, එයත් ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ, දුව වෛද්‍යවරියක් වුණාට පස්සෙ දෙන්නම ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යන්න හිටියෙ.
දුවට අඩුයි කියන කිසි දෙයක් තිබුණෙ නැහැ, එයා ලබන 3 වෙනිදා ලංකාවට එන්න හිටියෙ, මට කිව්ව අම්මෙ මං සිංගප්පූරුව හරහා එන්නද මට ආසයි එහේ ගිහින් එන්න කියල, ඒකට ලංකාවෙ මුදලින් ටිකට් එකේ ගාණ තවත් 75,000ක් විතර වැඩිවෙනව. මම කිව්ව කමක් නැහැ මම කොහොම හරි සල්ලි සොයල දෙන්නම් එහෙම එන්න කියල, එයාට ඉල්ලුව 14 + අලුත් ෆෝන් එකක්, අනික් අයත් ඔක්කොම දැන් ඒ ෆෝන් පාවිච්චි කරන්නෙ කියල, මම ඒකත් අරන් දෙන්නම් කිව්ව, කැම්පස් එකට මාසෙකට රුපියල් ලක්ෂ 12ක් ගෙවන්න ඕන. මම දවල් රෑ නැතිව මහන්සි වෙලා ඒ වියදම හොයල දෙනවා.
දුව ඔය කැම්පස් එකට ගිහින් මිසක් කොහේවත් තනියෙන් යවල නැහැ; ගිහිනුත් නැහැ, මම එයාගෙ ආරක්ෂාව උපරිමව සැලසුවා. අයියත් තාත්තත් එහෙමයි.
සැප කියන්නෙ සල්ලි නෙමෙයි කියලයි මම දුවට කියල තිබුණෙ. එයත් ඒ ගැන තේරුම් අරගෙනයි කටයුතු කළේ. ඒත් දැන් සේරම වෙනස් කරලා එයා යන්න ගියා. මට නිදි බෙහෙත් බීලත් දැන් නින්ද යන්නේ නැහැ. එදා මැලේසියාවෙන් පණිවුඩය එන්න තව පැය දෙකක් තුනක් විතර පරක්කු වුණානම් මම ප්ලේන් එකේ. එහෙම වුණානම් මට හිතාගන්න බැහැ මොනව කරන්නද කියලා, නොදන්න රටකට තනියම ගිහින් මම මොනව කරන්නද? තරුණ දුවෙක් නැතිවුණ අම්ම කෙනකුට මොනවද කරන්න පුළුවන්, ඇත්තටම මම පටාචාරා වගේ පිස්සුවෙන් දුවයි. මටත් හාට් ඇටෑක් හැදෙන්නත් තිබුණා එහෙම වුණානම්.”
තිරාණි පිරීස් කොතරම් හිත හයිය තැනැත්තියක් වුවත් දුවගේ වියෝව ඇයට දරා ගැන්මට නොහැකිය. ඇය මේ විස්තර හෝ පැවසුවේ දුක මඳකට හෝ නිවාගෙනය. ඇය කිසිසේත්ම සාමාන්‍ය තත්ත්වයකට පැමිණ නොහැකි බව අපට පසක් විය. අපට විස්තර ලබා දුන්නේ බැරිකම නිසාම මිස දුක තුනී කරගෙන ද නොවේ.
නෙතාෂාගේ මිය යාම සැලවීමෙන් පසුව තිරාණි පීරිස්ගේ මැලේසියා ගමන නැවතුණු අතර ඒ වන විට සිංගප්පූරුවේ සිටි ඔවුන්ගේ සොහොයුරකු මැලේසියාව බලා ගොස් දේහය ලංකාවට ගෙන ඒම පිණිස අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ අනෙක් සිසු සිසුවියෝද ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දුන්හ.
තිරාණි පීරිස්ගේ වාහනයේ රියැදුරු ප්‍රියන්ත පෙරේරාද අපට හමුවිය. රට බේරා ගැන්මට යුද වැදුණු ගැමුණු හේවා බළකායේ රණවිරුවකු වූ ඔහු අද විශ්‍රාමිකය. නෙතාෂාගේ පාසල් දිවියේ අවසන් කාලයේ ඇය රැගෙන ඒම යාම පැවරී තිබුණේද ඔහුටය. ‘පුදුම නිහතමානී දරුවෙක්, මම ඩ්‍රැයිවර් කියල නැහැ මොකක් හරි දැනුවත් කිරීමක් කළොත් ඒක පිළිගන්නව, වැඩිහිටි ගෞරවය ඉහළින්ම තිබුණු දරුවෙක්, කොළඹ ඉන්න දූ දරුවන් අපේ සංස්කෘතියට ආගමට දහමට ගරු කරන්නෙ නැහැ කියල ඇතැම් අයගෙ මතයක් තියෙනවා, ඒත් මේ දරුවගෙ ක්‍රියා කලාපය දන්න කෙනෙක් නම් ඒ වගේ කතාවක් කියන එක්ක නැහැ, මටත් හිතාගන්න බැහැ මේ වගේ දරුවකුට ඒ වගේ විපතක් වුණේ කොහොමද කියල.’
නෙතාෂාගේ දේහය පසුගිය ඉරිදා මෙරටට ගෙන එන ලදී. එහි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය මැලේසියාවේදී පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී සිදු කළ අතර එහිදී මරණය ගැන විවෘත තීන්දුවක් ලබා දී තිබුණි. සිරුරේ කිසිදු බාහිර තුවාලයක් හෝ තුවාලයක් නොමැති බවද සඳහන් කර තිබුණි.
නෙතාෂාගේ දේහය බම්බලපිටියේ Kinross avenue හි ඇය පදිංචිව සිටි නිවසෙහි තැන්පත් කර තිබූ අතර ඇය බදාදා බොරැල්ලේදී අවසන් ගමන් ගියේ මොළය සම්බන්ධ වෛද්‍යවරියක වීමේ සිහිනයද තුරුලු කරගෙනය.