728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 4, 2023

ජීවිත බේරා ගැනීමට අවයව දන් දී කුරුණෑගල මලියදේවයේ ප්‍රවීනුත් සමුගයි


 කුරුණෑගල මලිය⁣දේව බාලිකා විද්‍යාලයේ විහඟනා ආරියසිංහ සිසුවිය තම අවයව  පරිත්‍යාග කර සතයක කාලයක් ගත වීමටත් පෙර හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මොළය මිය ගිය කුරුණෑගල මලිය⁣දේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ අවයවද ජීවිත රැසක් බේරා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමේ ශෝචනීය පුවතක්  වාර්තාවේ.

කුරුණෑගල දෙමටළුව ප්‍රදේශයේ පදිංචිව සිටි මලිය⁣දේව විදුහලේ උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබමින් සිටි ප්‍රවීන් බණ්ඩාර සිසුවාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට පරිත්‍යාග කිරීමට පෙරේදා (3) දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ලබාගෙන ඇත.

මියගිය ප්‍රවීන් තම මව සහ තමන්ට බාල සොයුරා හා සොයුරිය සමඟ ඥාතියෙකු හමු වීමට ගොස් ආපසු නිවස කරා ගමන් කරමින් සිටියදී පසුගිය 31 වන දින රාත්‍රියේ වීරඹුගෙදර කළුගමුව මාර්ගයේ ඔවුන් ගමන්ගත් ත්‍රීරෝද රථය කන්ටේනර් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා ඇත.

ත්‍රීරෝද රථය පැදවූ රියැදුරාගේ නොසැලකිලිමත්කම නිසා හෝ රාත්‍රියේ පැහැදිලිව මාර්ගය දර්ශනය නොවීම හේතුවෙන් නිසා හෝ මාර්ගයේ දමා තිබූ පස් ගොඩක් මතින් ධාවනයවූ රථය පෙරළී ගොස් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ බව කියයි.

මෙම අනතුරේ අවාසනාවන්තම සිදුවීම වන්නේ ප්‍රවීන්ගේ මව අනතුර සිදුවූ ස්ථානයේදීම මරණයට පත් වීමය.  අනතුරෙන් ප්‍රවීන්ගේ සොයුරාගේ මුහුණට තුවාල සිදුව දත් වලට හානි සිදුව ඇති අතර සොයුරියගේ අතක් බිඳී තුවාල සිදුව ඔවුන් දෙදෙනාගේ ජීවිත අනූනවයෙන් බේරී ඇත. ඔවුන් ගමන් කර ඇත්තේ අසල්වැසියෙකගේ ත්‍රීරෝද රථයකින් වන අතර අනතුරෙන් ඔහුද බරපතළ තුවාල ලබා මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

නමුත් අනතුරෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයක පසුවූ ප්‍රවීන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියද ඔහුගේ මොළය මිය ගොස් ඇති බවට ප්‍රතිකාර ලබා දුන් විශේෂඥ වෛද්‍යවරුන් නිගමනය කර ඇත. විහඟනාගේ මෙන්ම මොළය මිය ගොස් සිටින ප්‍රවීන්ගේ අවයවද අසාධ්‍ය රෝගීන් සඳහා පරිත්‍යාග කළ හැකි බව වෛද්‍යවරුන් ප්‍රවීන්ගේ පියාට පෙන්වාදී ඇත. පියා වෘත්තීයෙන් දැව භාණ්ඩ නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කරන අතර මව ගෘහණියකි.

ඒ අනුව ප්‍රවීන්ගේ පියාගේ කැමැත්ත මත ප්‍රවීන්ගේ හෘදය , පෙනහළු , අක්මාව , වකුගඩු , අක්ෂි පටල වෙනත් අසාධ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා පෙරේදා ඔහුගේ සිරුරෙන් වෙන් කරගෙන තිබේ. ඒ ප්‍රවීන්ගේ ආදරණීය මවගේ අවසන් කටයුතු සිදු කර දිනක් ඇතුළතදී වීමද විශේෂත්වයකි.

කුරුණෑගල වයඹ රාජකීය විදුහලෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ ප්‍රවීන් එම ප්‍රතිඵල මත හය වසරේදී මලිය⁣දේව විදුහලට ඇතුළත් වී තිබේ.  අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද විශිෂ්ඨ සාමාර්ථ නවයක්ම ලබමින් සමත්වූ ඔහු පසුගිය වසරේදී  විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා උසස් පෙළට ඇතුළත්ව සිටියේය.

ඉගෙනුමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සඳහාද සුවිශේෂී දස්කම් පෑ ප්‍රවීන් සංගීත විෂයයෙහි දැක්වූ දස්කම් නිසාම අඩු වයසකදීම සංගීත විශාරද විභාගයද සමත්ව සිටියේය. ප්‍රවීන් මියුරු කටහඬක් සහිත දක්ෂ ගායකයෙකි. ඔහු ගායනා කරන ගීත කීපයක් මේවනවිට යූටියුබ් නාළිකාවේ ජනප්‍රියව තිබෙන අයුරු දැකගත හැකිය.

පසුගියදා අවසන්වූ කුරුණෑගල මලිය⁣දේව ශාන්ත ආනා දෙවිදුහල් අතර පැවති වාර්ෂික මහා ක්‍රිකට් තරඟය සඳහා මලිය⁣දේව විදුහල වෙනුවෙන් ගීතයක්ද නිර්මාණය කළ ප්‍රවීන් එම ගීතය ගායනා කිරීමටද හවුල් වී තිබේ.මෙයද බොහෝ දෙනෙකුගේ හදවත් සසල කරන සිදුවීමක් අවසාන වරට එම ගීතය තම මිතුරන් පිරිසක් සමඟ ගයා ඔහු අවසන් ගමන් යාමය.

වාර්ෂික ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව අතිරේක පන්තියකටද සහභාගි වූ ප්‍රවීන් ත්‍රීරෝද රථයකින් කුරුණෑගලට පැමිණ සිටි තම මව , සොයුරිය හා සොයුරා සමඟ එක්ව  ඥතියෙකු බැලීම සඳහා වීරඹුගෙදර ප්‍රදේශයට ගොස් ඇත්තේ ඒ තම අවසාන ගමන බව නොදැනය.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ජීවිත බේරා ගැනීමට අවයව දන් දී කුරුණෑගල මලියදේවයේ ප්‍රවීනුත් සමුගයි Rating: 5 Reviewed By: webgossip24.com