පුංචි කාලයේ පටන්ම කලා ලෝකයට අවතීර්ණ වුණ ඇයට අපි ආදරය කරන්න පටන්ගත්තේ හපන් පැදුර විකාශය වන කාලයේ සිටය. කෙමෙන් කෙමෙන් ඇය ඇගේ කලා ජීවිතය ඔපමට්ටම් කරගනිමින් කලා ක්ෂේත්රය තුළ නමක් රැන්දූ දක්ෂ තාරකාවක් බවට පත්විය. ලංකාවම ආදරය කරන ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය වැඩිමහල් දියණිය ලෙසින් පමණක් නොව ඇයටම ආවේණික රංගන ශෛලියක් හරහා මාධවී ඇන්තනී වන ඇය රසික රසිකාවියන් අතර ජනාදරයට පත්වූවාය. ඇගේ නවතම ගීත නිර්මාණය වන “ප්‍රේමෙට සීමාවක් නෑනේ” පිළිබඳව හදගැස්ම සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්. කොහොමද මේ දවස්වල ජීවිතේ?
හුඟක් අභියෝග, බාධක, කම්කටොලු මැද වුණත් නොසැලී, ආදරෙන්, වුවමනාවෙන් ජීවත් වෙන්න උත්සාහ කරමින් ජීවිතේ ගෙවනවා.
මේ දවස්වල නිරත වන කලා කටයුතු ගැන කතා කළොත්?
මගේ අලුත්ම ස්වතන්ත්‍ර ගීතය පසුගිය 28දා Madhavee Anthony නමැති මගේ YouTube නාළිකාවෙන් ජනගත කළා. ඒ වැඩකටයුතුවල තමයි මේ දිනවල නිරත වෙන්නේ.
ඔබේ අලුත්ම ගී නිර්මාණය වන “ප්‍රේමෙට සීමාවක් නෑනේ” ගැනත් කියමු?
ප්‍රේමෙට සීමාවක් නෑනේ කසුන්ගේ නිර්මාණ සංකල්පයක්. එහි ගී පද රචනය සහ සිනමාත්මක රූප රචනා අධ්‍යක්ෂණයද කසුන් මහේන්ද්‍ර හීනටිගලගේමයි. දක්ෂ සංගීතවේදියකු වන තුසිත් සිම්සන් විසින් එහි තනුව සහ සංගීතය නිර්මාණය කළා. ලහිරු ද කොස්තා ශබ්ද සංකලනයෙන් හා ශ්රීනික ලියනගේ කැමරාකරණයෙන්, හසිත ජයසංක සංස්කරණයෙන් අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන් සහ තරි¾දු පතිරත්න වේශ නිරූපණයෙන් එක් වුණා. Chenara Dodge විසින් මගේ ඇ¾දුම් සහ Olak fashion වෙතින් කුසල්ගේ ඇ¾දුම් සැපයූවා. ඇත්තටම සිදුවූ කරදර නිසා කාලයක් මම කිසිම අලුත් වැඩක් කරන්නේ නැතුව එපා වෙලා ඉන්නකොට මට කසුන් මේ ගීතය තිළිණ කළා. අපි ගෙවන්නේ උපන්දා සිට මවුපිය මඟපෙන්වීමෙන් කලා ක්ෂේත්රයම වෘත්තීය කොටගත් ජීවිත. ඉතිං නව නිර්මාණයක් කියන්නෙ අපට සරු අස්වැන්නක්.
කසුන් එහෙම මහන්සියෙන් කැපවීමෙන් හදපු ගීතයේ රූපරචනය මුලින් “මගෙ ආදරීට” කියලා යෙදීමෙන් මාව පුදුමත් කළා. අපේ සහෘදයන් දෙපළක් වන නිරෝෂන් සමරසිංහ සහ කේ.පී.සී. කසුන් විසින් අපට නිෂ්පාදන අනුග්‍රහය ලබා දුන්නා. තව බොහෝ දෙනකුගේ ශ්‍රම දායකත්වය අපේ නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වුණා. විශේෂයෙන් කුසල් මදුරංග නම් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියා ඔහුගේ උපරිමය මේ නිර්මාණය වෙනුවෙන් ලබා දුන්නා කිව්වොත් නිවැරදියි.
කුසල් තුළින් නියෝජනය වෙන්නේ “බයිස්කෝප්” පෙම්වතාට වඩා “ඇත්ත” පෙම්වතෙක්. ඒ අව්‍යාජ බවට ප්‍රේක්ෂකයා ආදරෙයි. තවද ගරු රඟපෑමෙන් රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ සහභාගිත්වයත්, රංගන ශිල්පී ටෙරී ජයසිංහ මහතා එකතු වීම මට මහත් ගෞරවයක් වුණා. ඊට අමතරව කියන්නම ඕන මම ඇත්තටම පුංචි දෙගිඩියාවකින් මේ ගීතය ජනගත කළේ රසිකයා කොහොම මේ වගේ මොහොතක මගේ නිර්මාණයක් පිළිගනියිද කියලා. නමුත් ඔවුන් ඉතාම ආදරෙන් අපේ නිර්මාණය භාරගත්තා. පහන් සිතින් සුබ පැතුවා. ඔවුන්ට ස්තූතියි. අපිට තේරුම්ගන්න බැරි ආදර කතාත් මේ ලෝකෙ තිබෙනවා. එහෙම හැමෝම හැමෝවම තේරුම්ගන්න ඕනෙ නෑ. ඒත් කාවවත් විනිශ්චය කරන්න කාටවත් බෑ. අපේ රූප රචනාවේ හරය වුණේ එය.
සුවහසක් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත් ඔබේ අප්පච්චිගේ තත්ත්වය කොහොමද දැන්?
අප්පච්චි ජූලි 2 රෑ අනතුරෙන් පසුව සුෂුම්නාවේ ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කෙරුණා. ඒ ශල්‍යකර්මය ඉතාම සාර්ථක වුණා. ඔහු අප සමඟ හොඳින් කතා බහ කරමින්, විහිළු තහළු කරමින්, ලියමින්, ස්නායු ආබාධයෙන් ක්‍රමයෙන් සුව වෙමින් සිටියදී ජූලි 18 යළිත් යම් හදිසි ආබාධයකට මුහුණ දුන්නා. ඒ ඔහුව වෙන්ටිලේටර් යන්ත්‍රවලින් ගැලවීමේ වෛද්‍ය තීරණයෙන් පසුව හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවකට ලක් වීම හේතුවෙන්. එලෙස දැඩිසත්කාර ඒකකය තුළදී ඔක්සිජන් හිඟ වීම නිසා ඔහු අද ඉන්න තත්ත්වයට පත් වුණා. එදා සිට මේ දක්වා ඔහු ක්‍රමයෙන් සුව වෙමින් ඉන්නවා. අපි වෛද්‍ය උපදෙස් අකුරට පිළිපදිමින් ඒ ප්‍රතිකාර ඔෟෂධ සපයමින් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා. ඔවුන්ගේ පණිවුඩ අනුව තමයි අපත් සියල්ල දැනගන්නේ. අප හැම දවසකම අප්පච්චි බලන්න යනවා. ඔහු විටෙක දෑස් විවර කර අප දෙස බලනවා. කට සොලවා මුහුණෙන් විවිධ ඉඟිත් මවනවා. අපි කතුරු වගේ කියවද්දි දවසේ තොරතුරු කියද්දි අප්පච්චිගේ ඇස්වලින් ක¾දුළු එනවා. අප්පච්චිට අපව ඇහෙනවා ඇති. කිසිම අප්පච්චි අම්මා කෙනෙකුට හෝ දරුවෙකුට අපට වැනි දුකක් වෙන්න එපා කියා මං පතනවා. අඩු තරමේ අපි ගැන අප්පච්චි ගැන වෛරය පතුරුවන අයටවත් එහෙම වෙන්න එපා.
නොගැළපීම් මත රැෙ¾දමින් ජීවිතය විඳවනවාට වඩා අත්හැර දැමීමෙන් දැනෙන සැහැල්ලුව වැඩියි. ඔබට එය දැනෙන්නේ කොහොමද?
සැහැල්ලුව කියලා ඒක සරලව ගන්න බෑ. අනික මගෙ ජීවිතේ විතරක් නෙවෙයි තව බොහෝ අය දුක් විඳින්න නියමිතව තිබුණා නොගැළපීම් නිසා. මම කවදාවත් කියන්නෙ නෑ ඒ දේවල් ඒ පිළිවෙළට වුණ එක හොඳයි කියලා. නමුත් අප්පච්චි කියල දීපු විධියට ජීවිතේ දුර රූපයෙන් බලනකොට අවුරුදු 4ක් වැනි කෙටි කාලයක් නිසා අවුරුදු 50-60ක් දුක් විඳින එක කාටවත් ප්‍රායෝගික නැති බව වටහා ගත් නිසා තීරණ ගන්න පුළුවන් වුණා. හැබැයි ඒවා මම තනිවම මගෙ තනි කැමැත්තට ගත් තීරණ නම් නෙවෙයි.
විවාහයක් හෝ පෙම් සබඳතාවක් බිඳවැටුණු විට බොහෝ විට කාන්තාවකට සමාජය විසින් විවිධ අපහාස, අපවාද එල්ල කරනවා.ඒ ගැන කතාකළොත්?
ඒක මහ ඛේදවාචකයක්. නමුත් මොනවා කරන්නද.? කවුරුත් වුවමනාවෙන් හීන බිඳගන්නවද? හුඟක් අය ගරහන්නේ ඵලය දැකලා මිස හේතුව දැනගෙන නෙවෙයි. අනික එහෙම බි¾දුණු සම්බන්ධතා නිසා ගැහැනියට විඳවන්න වෙන අමානුෂික ප්‍රහාර ගැන මං නොදැන සිටියා නෙවෙයි. ඒත් මං දන්නවා එහෙම වෛර කරන බහුතරය මාව හෝ මගෙ කතාව නොදන්නා අයයි. ඒ අයට මං හිතින් සමාව දුන්නා.
මට දැන් සමහර දේවල් දැක්කම දුක හිතෙන්නෙ නෑ. ඒවා අලුත් දේවල් නෙවෙයි. “ඔවුන් නොදැන කරන දේට සමාවෙන්න” කියලයි මම ඉගෙනගත්තේ. නමුත් දරුණුම දුෂ්ටයෝ වෙන්නෙ ළඟින්ම ඉඳලා මාව ප්‍රතික්ෂේප කරපු සහ මාව හිතාමතා වේදනාවට පත් කරපු අයයි. ඒ අය සියල්ල දැනගෙනත් මට වැරදි කළා. ඒත් මේ සමාජයේ අපිව අපේ කතාව හරියට නොදන්න, නමුත් අපව ආරක්ෂා කරන දේවදූතයෝත් හුඟක් ඉන්නවා. ජීවිතේ අවිනිශ්චිතයි. හිතනවාට වඩා අනිවාර්යයෙන්ම කෙටියි. ඉතිං ඒ චූටි කාලය තුළ ඇයි කවුරුත් දුෂ්ට වෛරී වෙන්නෙ?
ඔබේ ජීවිතයට ආලෝකයක් එකතු කළ ආදරණීය පෙම්වතා ගැනත් කියමු?
ඔහු කසුන් මහේන්ද්‍ර හීනටිගල. නීතිවේදියෙක්. කවි සහ ගීත රචකයෙක්. ගත්කතුවරයෙක්. වෘත්තීය නිර්මාණ අධ්යක්ෂවරයෙක්. ස්වාධීන චින්තකයෙක්. හොඳ කථිකයෙක්. එක එල්ලයක් බලා යන පරම්පරාවක ආරම්භකයෙක්. බොහොම වගකීම් සහගත ප්‍රතිපත්තිගරුක පෙම්වතෙක්. රසවත් ආදරවන්තයෙක්. හැබැයි ඔහුට මම ආදරේ කරන්නේ මේ සුදුසුකම් ගුණවලට විතරක් නෙවෙයි. ඔහුගේ හොඳ නරක සියල්ලට මම ආදරෙයි. මම ඔහුව වර්ණනා කිරීම ඔහුටවත් අලුත් දෙයක් නෙවෙයි. ඒත් ඔහු මාවත් ඒ හා සමානව අගය කරනවා. ඒක නම් මට අලුත් දෙයක්.
ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ගැනත් කතා කරමු?
මගේ චිත්‍ර ඇඳීමේ හැකියාව මුල් කරගත්තු ස්වයං රැකියාවක් ව්‍යාපාරයක් ලෙසින් අරඹන්න අදහසක් තිබෙනවා.ඊට අමතරව ජීවිතේ ඉතිරි කාලය සැනසීමෙන්, තනි නොවී, ආදරෙන් ගත කරන්න පුළුවන් නම් එච්චරයි.