විදේශයන්හි රැදී සිටිමින් ශ්‍රී ලංකාව තුළ අපරාධ කටයුතු මෙහෙයවමින් සිටි පාතාල කල්ලි නායකයින් වන " හරක්කටා " සහ " කුඩු සළිදු " අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
මොවුන් උදෑසන 07.10 ට ඉන්දියාවේ මුම්බායි සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
මොවුන්ගේ ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ඇතුළු අත්‍යාවශ්‍ය රාජකාරී ගුවන් යානය අසළදීම සිදු කර , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .
එසේම මෙම අපරාධ කල්ලි නායකයින් දෙදෙනා රැගෙන මැඩගස්කර් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ තිබූ අතර , එම නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ, ලිඛිතව , නිල වශයෙන් මොවුන් භාර දීම සිදු කර තිබුණි .
මොවුන් දෙදෙනා භාර ගැනීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු , සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් වාහන 06 කින් පමණ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ .
මෙම සිදුවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ , ඒ අවට ප්‍රදේශයේ සහ ඔවුන් කොළඹ බලා රැගෙන යන මාර්ගය දෙපස දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.