වරෙන්තුකරුවන් සහ අපරාධකරුවන් නිදැල්ලේ හැසිරීම පොලිස් වසමකට ගෙන දෙන්නේ බරපතළ තර්ජනයකි. ඒ, එසේ නිදැල්ලේ සිටිමින් තවත් විවිධාකාර අපරාධවල නිරත වීමට ඔවුනට ඇති ඉඩකඩ බහුල නිසාය. මේ නිසා සෑම ඉහළ නිලධාරියකුම පහළ ශේ්‍රණිවල නිලධාරීන්ට නිතරම උපදෙස් දෙමින් කියා සිටින්නේ, නිදැල්ලේ සිටින මෙවන් අපරාධකරුවන් කෙසේ හෝ කොටුකර ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. ඉකුත් දිනෙක අම්පාර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් වරෙන්තුකරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදය පුළුල් කිරීම සඳහා අම්පාර කොට්ඨාසයේ අධිකරණ ක්‍රියාවල යෙදෙන පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක්
පවත්වනු ලැබීය. එහිදී ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිලධාරීන් දැනුවත් කරමින් කියා සිටියේ අපරාධකරුවන් නිදැල්ලේ සිටීම සමාජයට බරපතළ ප්‍රශ්නයක් බවත් ඒ නිසා විවිධ ක්‍රමවේද සහ නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් ඔවුන් වහාම කොටුකරගෙන නීතිය ඉදිරියට පැමිණවීමට සෑම නිලධාරියකුම ක්‍රියා කළ යුතු බවත්ය. මේ සාකච්ඡාව සඳහා අම්පාර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් දසනායකද (40503) සහභාගි වී සිටියේය. ඒ ඔහුද අධිකරණ කටයුතු සහ වරෙන්තුකරුවන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල යෙදී සිටින නිලධාරියකු වූ නිසාය.
එහිදී ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා දුන් උපදෙස් ගැන දැඩි අවධානයෙන් සිටි සැරයන්වරයාට කිසියම් කාරණයක් වහා මතකයට නැඟුණේය. ඒ වසර ගණනක් තිස්සේ කොටුකර ගත නොහැකි වූ අපරාධකරුවකු තවමත් නිදැල්ලේ පසුවන බවය. ඔහුට අධිකරණය මඟින් වරෙන්තුවක්ද නිකුත්කර තිබුණත් ඔහු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් අපොහොසත් වීම නිසා ඊට අදාළ ලිපිගොනුවද මෙතෙක් අවසන් කරගත නොහැකිව ඇති බවද ඔහුට මතක් විය.
පසුව ළමා හා කාන්තා කාර්යාංශය වෙත ගිය සැරයන් දසනායක අවසන් නොකළ එම ලිපිගොනුව පිරික්සද්දී ඔහුට වැටහුණේ සිද්ධියට සම්බන්ධ අපරාධකරු වසර නවයක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටින බවකි. මේ නිසා එම ලිපිගොනුව නීතිපතිවරයා වෙතද යොමුකර නොතිබිණි.
මෙලෙස වරෙන්තු නිකුත් වී එහෙත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින පුද්ගලයා ‘අලිඛාන්’ නමැත්තකු බවත් ඔහු මීට වසර 9කට පෙර අම්පාර නගරයේ ඇඳුම් මසන්නකු ලෙස කටයුතු කර ඇති බවත් එමෙනේම මොහු කුරුණෑගල, මල්කඩුවාව පදිංචි දෙදරු පියකු බවත්, එම ලිපිගොනුවේ සඳහන් වී තිබිණි. සැකකාර ඛාන් මීට වසර කිහිපයකට පෙර අම්පාර නගරයේ ටේලර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සාප්පුවේ සේවයට පැමිණි විවාහක කාන්තාවක් සමඟද මොහු සමීප සබඳකමක් පවත්වාගෙන ගොස් ඇත. එම දැන හැඳුනුම්කම් මත රැකියාවේ පහසුව තකා එම කාන්තාවගේ නිවෙසේ කාමරයක ලැගුම් ගැනීමටද මොහුට අවස්ථාව හිමිවිය.
කාලය මෙසේ ගෙවී යද්දී එම කාන්තාවගේ තරුණ වියට එළැඹෙමින් සිටි දියණියටද මොහු ඇල්ම – බැල්ම හෙළන්නට පටන් ගෙන ඇත. ඒ වන විට ඇය දහසය හැවිරිදි වියේ පසුවූවාය. කෙසේ වෙතත් මවුපියන් කිසියම් අත්‍යවශ්‍ය කටයුත්තකට අම්පාර නගරයට ගොස් සිටි මොහොතකදී දහසය හැවිරිදි ළාබාල දියණිය බිලිගත් මොහු ඉන්පසු කිසිවක් නොදත්තකු සේ හැසිරුණද සිය දියණියගේ හැසිරීමේ වෙනසක් දුටු මවුපියන් ඇගෙන් ඊට හේතුව හාරා විමසද්දී ඇය ටේලර් මාමා කළ අසික්කිත ක්‍රියා සිය මවුපියන්ට හැඬූ කඳුළෙන් පැවැසුවාය.
මින් කලබලයටත්, කෝපයටපත් පත්වූ ඇගේ මවුපියන් වහා මේ බව අම්පාර පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලත් සමඟ පොලිස් කණ්ඩායමක් සැකකාර ටේලර්වරයා කොටුකර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ ඔහු ඒ වන විටත් අම්පාරෙන් පැනගොස් සිටි නිසාය.
මෙම සිදුවීම පොලිසියට වාර්තා වූයේ 2014 වසරේදීය. එතැන් පටන් පොලිසිය මොහු සොයමින් මුළු රට පීරුවද ඔහු සොයාගන්නට පොලිසියට හැකි නොවීය. එහෙත් ටේලර් සාප්පුවේ තිබූ ඔහුගේ ජාතික හැඳුනුම්පත පොලිස් නිලධාරීන් සිය භාරයට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔහු කුරුණෑගල, මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ඒත්තුයෑම නිසා නිලධාරීන් මල්කඩුවාවට ගොස් මොහු ගැන විපරම් කළද ඔහු සොයා ගැනීමට නිලධාරීන්ට හැකියාවක් නොලැබිණි.
වසරෙන් වසර අවුරුදු නවයක්ම මෙසේ කාලය ගෙවී ගිය අතර අලුතින් පත්වී ආ නිලධාරීන් ළමා සහ කාන්තා කාර්යාංශයට පැමිණීමත් කලින් සිටි නිලධාරීන් වෙනත් පොලිසිවලට මාරුවී යෑමත් සමඟ ටේලර්වරයා සොයා ගැනීමේ උත්සාහයද නිලධාරීන්ගේ මතකයෙන් ගිලිහී ගොස් ඊට අදාළ ලිපිගොනුවද එම ඒකකයේ පුස්කමින් තිබුණේය. සැරයන් දසනායකට එම ලිපිගොනුව පිළිබඳ මතකය අවදි වන්නේ ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ කතාවත් සමඟිනි.
පසුව එම ලිපිගොනුව නැවත කියවා බැලූ සැරයන්වරයා එහි සඳහන් සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය ගැන දැඩි අවධානයක් යොමු කොට එම හැඳුනුම්පත් අංකයේ හිමිකරු ගැන කරුණු විපරම් කරද්දී අලිඛාන්ගේ නමද මෙවර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී තිබෙන බවට අනාවරණය කර ගැනීමට හැකි වී ඇත. ඒ අනුව අලිඛාන් ඡන්ද ලේඛනයට ඇතුළත් වී සිටින්නේ මාවතගම පොලිස් බලප්‍රදේශයෙන් බවද සැරයන් දසනායක වටහා ගත්තේය.
පසුව මාවතගම පොලිසියේ හිතවත් නිලධාරියකු වූ කොස්තාපල් කරුණාතිලක (89102) ඇමැතූ දසනායක ඔහුගෙන් අලිඛාන් ගැන විමසා ඇත.
“මචං… අලිඛාන් කියලා කෙනෙක් මේ පාර ඡන්ද ලැයිස්තුවේ ඉන්නවා. මිනිහා මාවතගමින් තමයි රෙජිස්ටර්වෙලා ඉන්නේ. ඔයා මිනිහා ගැන මොනවා හරි දන්නවද?”
සැරයන් දසනායක කරුණාතිලක රාලහාමිගෙන් විමසන්නට විය.
“ඇයි සාජන් මහත්තයා මොකක්ද ප්‍රශ්නේ”
“ඕකා අපේ ඒරියා එකේ බාල වයසේ කෙල්ලෙක් රේප් කරලා හැංගිලා ඉන්නේ. දැන් අවුරුදු 9ක්ම මූ මිසින් වෙලා. අපිට අල්ල ගන්න බැරිවයි ඉන්නේ.”
හරි… හරි… මම දන්නවා මෑන්ව. මිනිහට අපේ ඒරියා එකෙත් පී.සී.ආර්. කේස් දෙක තුනක්ම තියෙනවා. මම මිනිහා හරියටම ඉන්නවද බලලා ඔයාට කෝල් එකක් දෙන්නම්.
ඕන නම් උගේ හෑන්ඩ්ෆෝන් නොම්මරේ මගේ ළඟ තියෙනවා”
කොස්තාපල් කරුණාතිලක පවසන්නට විය.
“හරි… එහෙනම් මට දැනට ඕකාගේ හෑන්ඩ් ෆෝන් නොම්මරේ දීපන්කෝ”
එලෙස කරුණාතිලකගෙන් අලිඛාන්ගේ ජංගම දුරකථනයේ අංකය ලබාගත් සැරයන් “දසනායකට”, අලුත් සිම් එකක් දාලා මූට කෝල් කරලා බලන්න ඕනේ” යනුවෙන් අදහසක්ද පහළ විය.
එසේ සිතූ සැරයන්වරයා අලුත් දුරකථන සිම්පතක්ද ඒ අතරේ මිලදී ගෙන සිය කාර්යාලයට ගියේය. ඔහු අලුත් සිම්පත සිය ජංගම දුරකථනයට යොදා එමඟින් ටේලර්වරයාගේ ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගත්තේය. එය ක්‍රියාත්මක විය. සැරයන්වරයා වහා ඇමතුම විසන්ධි කළේය.
කාර්යාලයේ සිටි ඔහුට කදිම අදහසක් පහළ වූයේ ඔය අතරය. අමිලා එම ඒකකයේ රාජකාරි කරන පළපුරුදු නිලධාරිනියකි. සැරයන්වරයා අමිලා කැඳවා ඇයගෙන් ඒ සම්බන්ධයෙන් උදව්වක් ඉල්ලා සිටියේය.
“මේකා අවුරුදු නවයක් තිස්සේ අපිට කට්ටි පනිනවානේ. අවුරුදු 16ක කෙල්ල රේප් කරලා මෙහෙන් පැන්න දවසේ ඉඳලා මුගේ ෆෝන් එක වැඩකළේ නැහැ. මම අද ඒකට කෝල් එකක් ගත්තා. බැලින්නම් ෆෝන් එක වැඩ. අපිට මූව අල්ල ගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මගේ සිම් එකෙන්ම ඒ නොම්මරේට මිස් කෝල් ගහල උෟව කොහොම හරි “ලව් එකකට” පටලව ගන්න එකයි. ඔයාට අහුවෙන්නේ නැතිව මේ වැඩේ කරන්න පුළුවන්ද”
සැරයන් දසනායක අමිලාගෙන් විමසුවේය. ඇය ඊට කැමැත්ත පළ කළාය. කළ යුතු දේ ගැන සැරයන්වරයා වැඩිදුරටත් අමිලාව දැනුවත් කළේය. ඒ අනුව ඇය පසුගිය දිනෙක සැකකාර ටේලර්වරයා ඇමැතුවාය.
“කවුද ඔය ප්‍රසන්න අයියද…”
ඇය දුරකථනයට පිළිතුරු දුන් පුද්ගලයාගෙන් විමසන්නට වූවාය.
“නැහැ. මම ප්‍රසන්න නෙමේ. මම අලිඛාන්”
“අනේ සොරි… සොරි… මම හිතුවේ ප්‍රසන්න අයියා කියලා. එයා තමයි ඔය නොම්මරේ මට දීලා තිබුණේ. අනේ සොරි වැරදීමක්”
අමිලා එසේ කියා ඇමතුම විසන්ධි කළාය.
ගතවූයේ සුළු මොහොතකි. අමිලාගේ ජංගම දුරකථනයට පෙරළා ඇමතුමක් ලැබිණ.
“මම අලිඛාන්. ඇයි මොකක්ද ඔයාගෙ ප්‍රශ්නේ”
“නැහැ මගෙන් ප්‍රසන්න අයියා සල්ලි වගයක් ගත්තා. ඒක තවම ලැබුණේ නැහැ. ඒක අහන්නයි මම කතා කළේ. කමක් නැහැ මම වැරැදි නොම්මරයකට අරන් තියෙන්නේ සොරි”
එතැන් පටන් ඔහු අමිලාට වරින්වර දුරකථන ඇමතුම් දුන්නේය. ඔහු අලිඛාන් ලෙස හඳුන්වා දුන් නිසා පොලිසිය සොයන පුද්ගලයා ඔහුම බවට නිලධාරීන්ටද තහවුරු විය. අමිලා ඔහු සමඟ කතා බස් කළේ අමිතා යන නමින්ය.
“මමද… මම ඉන්නේ අම්පාරේ. මම බැඳලා ඉන්නේ අයියේ. මහත්තයා උදේට ගියාම හවස තමයි ඉන්නේ…”
“අයියෝ මාත් කාලයක් අම්පාරේ බිස්නස් කළා. ඒ කාලේ මගෙත් එක්ක ඔය පැත්තේ ලස්සන කෙල්ලෙකුත් යාළුවෙලා හිටියා. දැන්නම් ඒ සම්බන්ධෙ නැහැ. අමිතා ඔයා කොහේද වැඩ කරන්නේ.”
“මම ටවුන් එකේ තියෙන ගාමන්ට් එකක වැඩ කරන්නේ අයියේ…”
අමිලාද බොරු චාටු දමමින් ඔහු සමඟ අමිතා නමින් පෙම්බස් ෙදාඩන්නට වූවාය.
“අනේ අයියේ මම මේ ගාමන්ට් එකේ ඉඳන් කතා කරන්නේ. අපිට හැම තිස්සේම මෙහෙම කතා කරන්න බැහැ. ලන්ච් වෙලාවටයි, තේ වෙලාවටයි විතරයි කතා කරන්න පුළුවන්. අයියේ ඔයා මට රෑට කෝල් ගන්න එපා මේකට. මොකද දන්නවද අපේ මහත්තයා රෑට ගෙදර ඉන්නවනේ. මම මහත්තයත් එක්ක පවුල් කන්නේ මගේ දරුව නිසා. නැත්නම් අපි දෙන්න සතුටින් නෙමේ ජීවත් වෙන්නේ. මමත් ආසයි ඔයා දකින්න. මම නිවාඩු දවසක කියන්නම්කෝ ඔයාට”
අමිලාගේ ආදර බස්වලට ඒ වන විටත් අලිඛාන් රැවටී සිටියේය. අලිඛාන්ට රාත්‍රි කාලයේ කතා නොකරන ලෙස අමිලා පැවැසුවේ සැරයන් දසනායක රාජකාරි අවසන් කිරීමෙන් පසු එම ජංගම දුරකථනය ඔහු නිවෙසට රැගෙන යන නිසාය. එමෙන්ම අමිලා මේ බව ඇගේ සැමියාටද දන්වා සිටියාය. ඊට ඔහුගේද අකැමැත්තක් පළ වූයේ නැත.
මෙලෙස සති දෙකක් පමණ අමිලා සහ අලිඛාන් අතර ප්‍රේම කතාබහ පැවතිණ. තමා සමඟ කතාබහ කරන හැම මොහොතකම ලිංගිකව එක්වන අදහසින් අලිඛාන් කතාබහ කරන බව අමිලා ඔහුගේ අදහස්වලින් තේරුම් ගත්තාය. අමිලාද ඒ බව නොදන්නා අයුරින් ඔහුට නිසි ප්‍රතිචාර දුන්නාය.
“අනේ මාත් අසයි අයියේ ඔයාව බලන්න. මම ඔයාට කියන්නද ලබන සතියේ අඟහරුවාදා අපේ මහත්තයා කොළඹ යනවා. පසුවදා තමයි එන්නේ. ඔයාට එදාට අපේ ගෙදර ඉන්න පුළුවන්. ඔයා එන්න අම්පාරට. මම එදාට වැඩට යන්නේ නැතිව ඉන්නම්.”
අමිලා අලිඛාන්ට කීවාය. ඉන් අලිඛාන් සතුටින් ඉපිල ගියේය.
“එදාට අපි කොහේ හරි යමු…”
“හරි හරි ඔයා එන්නකෝ…”
“මම ෂුවර් එකටම එනවා අමිතා. එදාට ඔයා කොට කලිසමක් ඇඳගෙන එන්න” අලිඛාන් අමිතාට කීවේය.
“අනේ මට එහෙම බැහැ. ලැජ්ජ නැද්ද”
“එහෙම කියන්න එපා. මගේ ආසාවනේ ළමයෝ”
“හරි හරි බලමුකෝ…”
“කොහේටද මම එන්න ඕන”
“ඔයා ටවුමේ තියෙන පාක් එක ළඟට එන්න ඇවිත් මට කෝල් එකක් ගන්න. අපේ ගේ තියෙන්නෙත් ටවුන් එක ළඟමයි. අපි අපේ ගෙදර යමු. මහත්තයත් නැහැනේ”
අමිලාගේ කතාවට අලිඛාන් හොඳටම රැවටී සිටියේය.
අඟහරුවාදා උදෑසන 10 වෙද්දී අම්පාර උද්‍යානය අසලට අනිවාර්යෙන්ම තමා පැමිණෙන බවට ඔහු අමිතාට පොරොන්දුවක් දුන්නේය. අමිලා මේ සියල්ල සැරයන් දසනායකට පැවැසීමෙන් පසු ඒකකයේ ස්ථානාධිපතිවරියට මේ බව දන්වා අඟහරුවාදා අලිඛාන් කොටුකර ගැනීම සඳහා සැලසුමක්ද සකස් කළේය.
අඟහරුවාදාට උදාවිය. වේලාව අලුයම 5ට ආසන්නය.
“මම කුරුණෑගලින් පිටත් වුණා. මම නුවරට ඇවිත් අම්පාරට එන්නම්. දහය වෙනකොට අම්පාරට එන්න පුළුවන් වේවි..”
“ඉතින් මම කොහොමද ළමයෝ ඔයාව හඳුනා ගන්නේ…”
අමිතා අලිඛාන්ගෙන් විමසුවාය.
“ඒකත් ඇත්තනේ. මම සුදු පාට මල් මල් තියෙන ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ…”
“හරි එහෙනම් පාක් එක ළඟට ඇවිත් මට කතා කරන්න හොඳේ…”
අමිතා දුරකථනය විසන්ධි කරමින් කීවාය.
ඔහු යළි අමිතාට ඇමතුමක් ගත්තේය.
“ඒක නෙමේ හස්බන්ඩ් ගෙදර නැහැ නේද”
“නැහැ නැහැ ළමයෝ එයා පාන්දර බස් එකේ කොළඹ ගියා. ඔයා බයවෙන්න එපා.”
වේලාව උදෑසන 10ට ආසන්නය. ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු අම්පාර උද්‍යානය වටා සිවිල් ඇඳුම් ලාගෙන තැන තැන රැඳී සිටියහ. ඒ සැකකාර අලිඛාන් ටේලර්වරයා කොටුකර ගැනීම සඳහාය.
ගතවූයේ නිමේෂයකි. අමිලාගේ ජංගම දුරකථනය නාද විය.
“මම අලිඛාන්. මම පාක් එකේ පොඩි කඩේ ළඟ ඉන්නේ…”
අමිලා මේ බව වහා සිය නිලධාරීන්ට කීවාය. ඒ සමඟම ක්‍රියාත්මක වූ සැරයන් දසනායක ඇතුළු කණ්ඩායම අම්පාර උද්‍යානයේ රැඳී සිටි අලිඛාන්ව වහා පැන අල්ලා ගත්හ.
“ඇයි ඔයගොල්ලෝ කවුද?”
“කවුද කියලා බලාගමු පොලිසියට ගිහින්…”
අලිඛාන්ට වැඩේ වැටහුණේය. තමා පොලිස් කාන්තාවකගේ ගැටයකට හසුව ඇති බව ඔහුට තේරුණේය. අම්පාර පොලිසියට රැගෙන ගිය අලිඛාන්ගේ දෑතට යකඩ මාංචු වැටෙද්දී අමිලා හීන්සීරුවේ ඔහු අසලට ආවාය.
“මම තමයි අමිතා හඳුන ගන්න පුළුවන්ද”
අමිලාට මුහුණ දිය නොහැකි වූ අලිඛාන් ලැජ්ජාවෙන් බිම බලා ගත්තේ වෙන කරන්නට දෙයක් නොවූ නිසාය.
“අවුරුදු නවයක්ම කට්ටි පැන පැන හිටියා. අද තමයි අහුවුණේ නේද? තමන්ට මතකද අර අවුරුදු 16 ළමයට කරපු දේ..” සැරයන් දසනායක සැකකාර අලිඛාන්ගෙන් විමසා සිටියේය.
අම්පාර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් කොස්තාපල් අමිලාගේත් (2462)ථ සැරයන් දසනායකගේත් (40503) ක්‍රියාකලාපය නිසා වසර නවයක් තිස්සේ කට්ටි පනමින් සිටි සැකකාර ටේලර්වරයා මෙසේ අත්අඩංගුවට ගැනීමට දැක්වූ දක්‍ෂතාව ගැන අම්පාර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේද ප්‍රශංසාව ඔවුනට හිමිවිය.
47 හැවිරිදි එක්දරු පියකු වූ සැකකාර අලිඛාන් අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අම්පාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ අධීක්‍ෂණයෙන් අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දයානි ගමගේ, අම්පාර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ස්වර්ණකාන්ති යන මහත්මීන්ගේ උපදෙස් මත එම කාර්යාංශයේ සැරයන් දසනායක (40503), කාන්තා කොස්තාපල් අමිලා (2462) සහ සශිකා ඇතුළු කණ්ඩායමද සැකකරු කොටුකර ගැනීමට එක්ව සිටියහ. පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් සකස් විය.