කෞෂල්‍යගේ හදිසි වියෝව දරාගත නොහැකිව වේදනාවෙන් හා කම්පනයෙන් යුතුව ජීවත්වන ඔහුගේ ආදරණීය මව දැන් අප අසලය. “පසුගිය දවස් ටිකේම මම ජීවත් වුණේ හුදකලාව. පුතාගේ දේහය ළඟට ඇවිත් අවසන් ගෞරවය දක්වන්න තරම්වත් හයිය හිතක් මට තිබුණේ නැහැ. අන්තිමට මගේ පොඩි පුතා මා ළඟට ඇවිත් කිව්වා ‘අම්මා අයියා ඇවිත් ඉන්නේ ගිහින් බලන්න’ කියලා.“මම උඩ තට්ටුවේ ඉඳලා පහළට ආවා. ඒ එහෙම එන්න මට පැය ගාණක් ගත වුණා. මට එන්නට බැරි වුණා. ඒ මගේ පුතාව ඒ විදිහට දකින්න බැරි හින්දා.
මේවා අපේ රටේ තරුණ ධාවකයන්ට මෙන්ම සාමාන්‍ය තරුණ ප්‍රජාවට පවා අලෙවි වන්නේ සැලසුම් සහගතවය. ඒ කාරණය වඩාත් පැහැදිලි කර ගැනීමට නම හෙළි කිරීමට අකමැති වූ කුරුණෑගල ප්‍රදේශයේ වාහන අලෙවිකරුවෙක් මෙසේ කීවේය.
මගේ පුතා හරිම හොඳ දරුවෙක්. එයා ගැන දන්න හැමෝම දන්නවා පුතා පිනට දහමට කොයි තරම් බර කෙනෙක්ද, නැති බැරි අයට කොයි තරම් උදවු කරන කෙනෙක්ද කියලා.”
“මගේ පුතා මස් මාංස කන්නේ නැහැ. දුම් බොන්නේ නැහැ. මත්පැන් කටේවත් තියලා නැහැ. එයා නිතරම කළේ පින් අතේ වැඩ. වියදම් කළේ ඒවාට. ඇයි ඉතින් මගේ පුතාට මෙහෙම වුණේ.”
කෞෂල්‍යගේ මෑණියන් දීපානි සමරසිංහය. අපි ඇයට තම ආදරණීය ලොකු පුතා ගැන එක දිගට කතා කරන්නට ඉඩදී බලා සිටියේ ඒ දිගහැරුම තුළින්වත් ඇගේ වේදනාබර සිතට සැනසීමක් ලැබේවි යැයි දැනුණු නිසාය.
ව්‍යාපාරික කාන්තාවක් වූ ඇය තම දරු දෙදෙනා සමඟ ජීවත් වන්නේ මුදලට වඩා මනුස්සකම හරි හම්බ කර ගනිමින්ය.
“මේ හදිසි අනතුර ගැන දැනගත් මොහොතේදී තමයි කෞෂල්‍ය පුතා මෝටර් බයික් පදිනවා කියලා අපි දැන ගත්තෙත්. ඒ වනතුරු මම දැනගෙන හිටියේ නැහැ පුතා රේසින් බයික් පදිනවා කියලා. එයා අපිට හොරෙන් කළ එකම වැඩේ ඕක වෙන්න ඇති.” කෞෂල්‍යගේ මෑණියන් යළිත් කීවේ වේගයෙන් ඉහළට ගත් සුසුම් පොදක් හීන් සීරුවට මුදා හරිමිනි.
“එයා පුංචි කාලේ ඉඳලම බයික් රේස් පදින්න ආසාවෙන් හිටියා. ඒකට අවසරත් ඉල්ලුවා. නමුත් මම ඒකට කැමැති වුණේ නැහැ. ඊට පස්සේ තමයි කාර් රේස් පදින්න හිත ගියේ.”
කෞෂල්‍ය සමරසිංහ අති දක්‍ෂ මෝටර් රථ ධාවන ශූරයෙකි. ඔහු එහි අවසාන ජය වාර්තා කළේ 2021 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති කටුකුරුන්ද සුපර් කාර් තරගයෙන් අනුශූරතාව දිනා ගනිමිනි. ඒ තියුණු තරගයකින් පසුවය.
මේ ශූරතාවට පෙර ඔහු අති දක්‍ෂ ධාවන ශූරයකු ලෙස චැම්පියන් කුසලානය ලැබුවේ 2009 වසරේදී සීගිරියේදීය.
එපමණක්ද නොව කෞෂල්‍ය 2012 වසරේදීද එවැනිම චැම්පියන් කුසලානයක් දිනා ගත්තේ පන්නල ධාවන තරගයේදීය. ඒ Formula / Ford 1600 cc කාණ්ඩයට අයත් වාහනයක් පදවමිනි. මේ ආකාරයට ඔහු 2010 වසරේදීත් Formula / GB 1300 cc කාණ්ඩයට අයත් වාහනයක් පදවා තරග වැදුණේ අශාන් සිල්වා සමඟය. පළපුරුදු දක්‍ෂ ධාවකයකු වූ ඔහු සමඟ කරට කර තරග කරමින් අනුශූරතාව දිනූ කෞෂල්‍ය 2019 වසරේදී SLGT Super Car 3500cc කාණ්ඩයට අයත් වාහනයක් කුරුණෑගල පාන්ගොල්ල ධාවන පථයේ පදවා ජය ගත්තේද එහි ශූරතාව ලබමිනි.
කෞෂල්‍ය මේ ආකාරයට 2013 වසරේදීද අවස්ථා දෙකකදී SLS 1500 cc කාණ්ඩය නියෝජනය කරමින් කුසලාන දෙකක් ලබා ගත්තේ 3500 ජජ කාණ්ඩයට අයත් ජයග්‍රහණයද 2013 සිට 2019 දක්වා ජය වාර්තා කරමිනි.
අපි ඔහුගේ මේ සියලු ජයග්‍රහණ සම්බන්ධව ඔබ දැනුවත් කළේ ඔහු නිකම්ම නිකම් ධාවන ශූරයකු නොවන බව කියන්නටය. එමෙන්ම නිකම්ම නිකම් මෝටර් බයිසිකල් පදවන්නකු නොවන බව කියන්නටය.
පෙබරවාරි 11 වැනිදා හිමිදිරියේ හොරණ, අගලවත්ත මාර්ගයේ අනතුරකට ලක්වන්නේ මේ ධාවන ශූරයාය. එහිදී ඔහුගේ 1000cc මෝටර් සයිකලය මුහුණට මුහුණලා ගැටෙන්නේ බස් රථයකටය. වංගු සහිත ස්ථානයකදී වූ මෙම අනතුර පාලනයෙන් තොර වේගය නිසා සිදුවූවක් බව වාර්තා විය.
අනතුරින් පසුව රෝහල්ගත කෙරුණු කෞෂල්‍ය අවසන් සුසුම් හෙළුවේ ඔහුට ඇලුම් කළ, ඔහුගේ ගති පැවැතුම් අගය කළ සියලුම දෙනාගේ හදවත්වලට වාවාගත නොහැකි වේදනාවක් එකතු කරමිනි.
“මගේ පුතා මෙහෙම අපිට හොරෙන් ගිහින් බයිසිකල් පැද්දේ පුංචි කාලේ ඉඳලා එයාගේ හිතේ තිබුණු ආසාව හින්දා වෙන්න ඇති.”
“එයා දන්නවා අපි ඒ වග දැන ගත්ත නම් අකමැති වන බව. ඒ හින්දා කිව්වේ නැහැ. ලක්‍ෂ 25 කටත් වඩා වටිනා බයිසිකලයක් අරගෙන යාළුවකුගේ ගෙදර තියලා තමයි එයා ඒ පුහුණුවීම් කරලා තියෙන්නේ. එයාගේ යාළුවොත් ව්‍යාපාරික පවුල්වල ළමයි. මේ ළමයින්ට බයිසිකල් විකුණන්නේ මේ ව්‍යාපාරය ජාවාරමක් විදිහට කරන අය. සල්ලි බාගේ තියෙන පවුල්වල දරුවෝ හොයාගෙන මේ අදහස් ඔළුවට දානවා. එහෙම කරන්නේ ව්‍යාපාරය තර කර ගන්න. මගේ පුතා බයිසිකලය අරන් තියෙන්නෙත් එහෙම කෙනකුගෙන්.” දීපානි සමරසිංහ මහත්මිය එසේ කීවේ මේ සම්බන්ධව ඇති තවත් ජාවාරමක් පිළිබඳව හෙළිදරව්වක් කරමිනි.
අපි මේ ජාවාරම පිළිබඳව තවදුරටත් සොයා බැලුවේ ඇය තරමටම තවත් මවුපියන් මෙන්ම තරුණ බිරින්දෑවරුන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිවය.
යුරෝපයේ බොහෝ රටවලින් මෙන්ම විශේෂයෙන්ම ඉතාලියේ නිෂ්පාදිත මෝටර් සයිකල් අපේ රටට එන්නේ හොර පාරින්ය. ලංකාවේ මහා මාර්ගවල ධාවනය කිරීමට අවසර නැති එහෙත් ධාවන තරග පවත්වන ධාවන පථවලට පමණක් සීමා වුණු මේ මෝටර් සයිකල් 1000cc කාණ්ඩයට අයත් සුපිරි මෝටර් බයිසිකල්ය.
“මේවා හුඟක්ම වෙන්නේ වයඹ පළාතේ. ඒ අය මුලින්ම කරන්නේ ජපානයෙන් ගෙන්වන තැපැල් 90 වගේ පුංචි බයිසිකල්වල පොත් එකතු කර ගන්න එක ඊට පස්සෙ . ඒ පොත් අරගෙන ගිහින් අර හොරෙන් ගෙනාපු මෝටර් සයිකලයේ විස්තර වෙනුවට වෙනත් ඒවා ඇතුළත් කරනවා. තැපැල් 90 බයිසිකලයේ චැසි නම්බර් එක ඒ සුපිරි බයිකලයට මාරු කරනවා. නම්බර් ප්ලේට් එක ඇතුළු හැමදේම මේ විදිහට වෙනස් කරන්නේ නිකම්ම නොවෙයි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මුදල්වලට වැඩ කරන අයගේ උදව්වෙන්. මේවා ගැන මෝටර් රථ කොමසාරිස්තුමා හරියට හෙව්වොත් සියල්ල හෙළිකර ගන්න පුළුවන්.”
“ඊළඟට අපේ රේගුව. ලොකු ලොකු කාණ්ඩවලට අයත් බයිසිකල් විතරක් නොවෙයි වාහන පවා අල්ලස් දීලා එළියට ගන්නේ ඇතැම් රේගු නිලධාරීන්ව සම්බන්ධ කර ගෙනයි. ඉතින් මේ බයිසිකල් මහ පාරෙත් අගේට දුවනවා. පොලිසිය ලියකියවිලි පරීක්‍ෂා කරලා බලද්දි ඔවුන්ටවත් මේ සම්බන්ධව හරි තොරතුරු හොයාගන්න බැහැ. ඇයි පොතේ විදිහට ඔක්කොම හරිනේ.”
“කෙසේ හෝ දැන් මේ සම්බන්ධව ප්‍රවාහන ඇමැතිවරයා පමණක් නොවෙයි ප්‍රවාහන කොමසාරිස්වරයා වගේම රේගුව සම්බන්ධ වගකිව යුතු නිලධාරිනුත් වගකීමෙන් යුතුව සොයා බැලිය යුතුයි. නැතිනම් අපේ රටේ තවත් කොයි තරම් තරුණ ළමයි මැරෙයිද කියලා හිතාගන්න බැහැ.” මේ තත්ත්වය වැඩිවුණේ පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 25000 අරන් මේවා පදින්න පුළුවන් විදියට ලයිසන් දීපු නිසයි කුරුණෑගල මිතුරා කීවේය.
රථ වාහන පදවන ඕනෑම කෙනකු දන්නා එක් සත්‍යයක් ඇත. ඒ සුක්කානම අතට ගත් ඕනෑම අවස්ථාවකදී වේගය පාලනය කර ගැනීමට අසීරු වීමය. පාර හොඳින් පෙනේ නම් රෝද හොඳින් කැරකේ නම් ඕනෑම රියැදුරකු වේගයෙන් යන්නට කැමැතිය. එහෙත් අනතුර අත ළඟ බව දැනෙන්නේ නැත.
කෞෂල්‍යටත් ඔහු සමඟ ඒ අවස්ථාවේ එකට සිටි මෝටර් සයිකල් මිතුරු සමාජයටද පෙර කී කාරණය අපට මෙන්ම පොදුය. එහෙත් මාරයා ඒ මොහොතේ ඔහු සමඟ සිටිනා බව මොහොතකටවත් නොදැනෙන්නට ඇත.
“මම මගේ පුතා නිසා කියනවා නොවෙයි. ඔහු දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. අනුන්ට සරණ වන හිතක් තිබුණු සැබෑ මනුස්සයෙක්. එක්දරු තාත්තා කෙනෙක්.”
“මේ පුතා තමයි 2009 අවුරුද්දේ එයාගේ මැදිහත් වීමෙන් රුහුණු කතරගම දේවාලයේ මුළුතැන්ගෙට මුල්ගල් තියලා අලුතින් හැදුවේ. ඊළඟට අෂ්ටඵල බෝධිය අසල මල් ආසනයක් හැදුවේ. මීට අමතරව ගමේ පන්සලේ බෝධිය වටා රන් වැට හැදුවෙත් එයාගේ තනි වියදමින්.”
“පුතා හැම අවුරුද්දකම ජනවාරි පළමු සතියේ අපි ඔක්කොම එක්ක ගිහින් කතරගම මහසෙන් දේවාලයේ පූජාව කරනවා.”
“මේ හැම දෙයක්ම මගේ පුතා කරන්නේ හරිම ඕනෑකමකින්. ඒ නිසාම තමයි එයා එළවළු බත්වලට හුරුවී සිටියේ.” කෞෂල්‍යගේ මෑණියන් වේදනාවෙන් කීවේ මෙවන් යහපත් දරුවකුට අත්වූ අකාරුණික ඉරණම ගැන තවදුරටත් ප්‍රශ්න කරමින්ය.
කෞෂල්‍ය ඒ. පී. එස්. සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාය. එමෙන්ම ප්ලැටිනම් ඔටෝස්පා පෞද්ගලික සමාගමේ සභාපතිවරයාය. මේ සමාගම මඟිනුත් ඔහු කළේ සුපිරි වාහනවලට අවශ්‍ය අමතර කොටස් ගෙන්වීම හා බෙදාහැරීමය.
ව්‍යාපාරිකයකු වුවද ඔහු හැමවිටම ක්‍රියා කළේ සාමාන්‍ය මනුස්සයකු ලෙසින්ය. ඔහු ළඟට එන නැති බැරි කිසිවකු හිස් අතින් යැව්වේ නැත. සිනාමුසු මුහුණින් ආගිය තොරතුරු කතාබහ කරන කෞෂල්‍ය පොකැට්ටුවෙන් මුදල් ගෙන එය පිරිනැමුවේ ‘තවත් උදවු ඕනෑ නම් එන්න’ කියාය.
“පුතා නැති බැරි අයට ගෙවල් හදලා දීපු අවස්ථා තිබුණා. ඒ වගේම ලෙඩ රෝග තියෙන අයට බෙහෙත් ගන්න සල්ලි දුන්නා. නැති බැරි දරුවන්ට පොත්පත් අරන් දුන්නා. මේ හැම දේකින්ම එයා බලාපොරොත්තු වුණේ පින විතරයි.”
“ඉතින් මෙහෙම කාටවත්ම කරදරයක් නැතිව පින් දහම් කරමින් ජීවත්වුණු දරුවට මෙහෙම විපතක් වුණේ ඇයි කියලා තවමත් මම කල්පනා කරනවා. හොඳ දරුවන්ට මෙහෙම වෙන්නේ ඇයි?” ඇය වේදනාවෙන් යුතුව ප්‍රශ්න කළාය.
ජීවිතය මහා පුදුමාකාර දුෂ්කර මාර්ගයක්. ඒ මාර්ගය විටෙක අපට සැප පහසුය. තවත් විටෙක රළු පරළුය. තවත් විටෙක අවදානම් වංගු හා වගුරුබිම් සහිතය. මේ බාධක පහසුවෙන් පසුකර ඒ මාර්ගයේ කෙළවරට පැමිණීම අතිදුෂ්කරය.
ඇතැම් අවස්ථාවලදී අඩු වැඩි වශයෙන් හා ඒ මාර්ගයේ කෙළවර දකින්නට පෙර අප නවතින්නේ පෙර කළ කුසල අකුසල කර්මවලට අනුවය. ජීවත් වී සිටින කාලය තුළදී කිසිවකුට හිංසාවක් නොකොට අකාරුණික ඉරණමකට ගොදුරු වී ඒ ගමන් මඟ නවතීවි නම් එය බැර කළ යුත්තේ පෙර භවයටය.
සියලු සැප සම්පත් තිබූ කෞෂල්‍ය මෝටර් රථයට අමතරව මෝටර් සයිකලය හොර රහසේ තෝරා ගත්තේ ඒ පුරුද්දට අනුවය. ඒ පුරුද්ද නිසාම ඔහුගේ ගමන් මඟ නොසිතූ මොහොතක නිමා විය. එහෙත් මිය යන වෙනත් අයට වඩා කෞෂල්‍ය ඔහු පිළිබඳව ඇති යහපත් මතකය අපට ඉතිරි කර යන්නට තරම් වාසනාවන්ත විය.