Sport News

අද තරඟයේ නවක පිතිකරුට අවස්ථාව

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 තරඟයට නවක පිතිකරු සධීර සමරවික්‍රම කැඳවීමට තීරණය කර ඇති බව වාර්ථා වේ.

ප්‍රථම තරඟයේ අසාර්ථක පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර වෙනුවට මෙම කැඳවීම සිදුකිරීමට ශ්‍රීලංකා තේරීම් කමිටුව තීරණය කරඇති බව ඉන්දියාවෙ වෙබ් අඩවියක් වාර්ථා කර තිබේ.

කෙසේවෙතත් ආරම්භක පිතිකරු ධනුශ්ක ගුණතිලක හෝ සධීර සමරවික්‍රම දෙදෙනාගෙන් එක් අයෙකුට අද අවස්ථාව හිමිවන බවත් එක්දින තරඟාවලියේ අසාර්ථක වීම හේතුවෙන් ධනුශ්ක ගුණතිලකට අවස්ථාව අහිමි වෙනු ඇති බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබුණි.

20/20 තරඟයේ අසාර්ථක පිතිකරණ රටාවක නිරතවීම හේතුවෙන් ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් අත්විදීමට පසුගියදා ශ්‍රීලංකාවට සිදුවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4කට ලකුණු 180ක් රැස්කල නමුත් ශ්‍රීලංකාවේ සියලුම පිතිකරුවන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 87ක් පමණි.මෙය ඉන්දියාව ජාත්‍යන්තර 20/20 තරඟයක ලැබූ විශාලම ජයග්‍රහණය ලෙසද වාර්ථා අතරට එක්විය.

එක්දින තරඟාවලියේ මෙන්ම 20/20 තරඟයේද දක්ශතා දැක්වීමට සමත්වූයේ උපුල් තරංග පමණක් වන අතර ඔහු ප්‍රථම 20/20 තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසුවේ ශ්‍රීලංකා පිතිකරුවන් දක්ශතා නොදැක්වීම පරාජයට හේතුව බවයි.

මෑතකාලයේ බිහිවූ හොඳම ක්‍රීඩකයන් ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරන බවත් එවැනි වාතාවරණයක් තුළ සියලු ක්‍රීඩකයන් ලකුණු 87කට දැවී යාම කණගාටුවට කරුණක් බවත් උපුල් තරංග මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රීලංකාවේ තේරීම් කමිටුව පිළිබඳ දැඩි විවේචන එල්ලකර තිබුණි.

ශ්‍රීලංකාව හා ඉන්දියාව හමුවේ පැවති අවසන් 20/20 තරඟයේදි අර්ධ ශතකයක් රැස්කල දිල්ශාන් මුණවීර මෙන්ම ඉන්දියාවේ ක්‍රීඩාකර වැඩිම අත්දැකීම් ඇති ලසිත් මාලිංග මෙම තරඟාවලියට එක්නොකලේ මන්දැයි ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රශ්ණකර තිබුණි.එමෙන්ම මෑතකදී හොඳම 20/20 පන්දු යවන්නෙකු ලෙස නමක් දිනාසිටි විකුම් සංජය හා ඉසුරු උදානද සංචිතයට නම් නොකිරීම ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ දුර්වලතාවය පෙන්වන සාධකයක් බව එම මාධ්‍ය වාර්ථා කර තිබුණි.

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පැවති පළමු 20/20 තරඟයේද වේග පන්දු යවන්නන් තිදෙනෙක් එක්කර ගැනීමත් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අසේල ගුණරත්න හා දසුන් චානකගෙන් ප්‍රයෝජනයක් නොගැනීමත් පළමු පරාජයට හේතුවක් බව ක්‍රිකට් විචාරකයන්ගේ අදහසයි.

අද පැවැත්වෙන 20/20 තරඟය ශ්‍රීලංකා වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතය.

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *