Sport News

සුමතිපාල එළවන්න දයාසිරි සැරසෙයි

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ තනතුර සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇගවීමක් කර තිබේ.

මීට ආසන්නතම හේතුව වී ඇත්තේ එළබෙන ඉන්දීය සංචාරය සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත් කිරීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන තිබීමත් සමඟයි.

කෙසේවෙතත් නැවත ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළේදී හරවා යැවූ අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව පසුදා ඔවුන් නැවත ඉන්දියාව බලා පිටත් කර යැවුහ.

මෙය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා නොදැනුවත්ව ගත් තීරණයක් බව ඇගවීමට උත්සහ කලත් එය ක්‍රීඩා අමාත්‍යවරයා පිළිගෙන නැති බවයි වාර්ථා වෙන්නෙ.

මේ හේතුවෙන් ඊයේ(06)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයක් කරමින් තිලංග සුමතිපාල මහතාගෙ තනතුර සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් කලේය.

පසුගිය කාලය පුරාම ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ඇතුළු ක්‍රීඩා බලධාරීන් පෙන්වා දුන් මෙරට ක්‍රීඩා සමාජ වල ක්‍රියාකාරිත්වය හා ඔවුන්ගේ ජන්ද බලය පිළිබඳ මෙතෙක් කල් නිහඩ පිළිවෙතක් අනුගමනය කල ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ දැඩි ප්‍රකාශයක් කලේය.

මෙරට ක්‍රීඩා සමාජ විසින් ඔවුන්ගේ ජන්ද බලය පෙන්වා ක්‍රිකට් පාලක මණ්ඩලය සිරකර ඇති බවත් ඉදිරියේදී ක්‍රීඩා සමාජවල ජන්ද බලය අඩු කිරීමට පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කලේය.

කවුරු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියද තමන් එය සිදුකරන බවත් එය සිදුකිරීමට නොදෙන්නේනම් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරින බවත් ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කලේය.

මෙය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සෘජුවම කල අනතුරු ඇගවීමක් බව වාර්ථා වේ.

මීට පෙර අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේ ක්‍රීඩා සමාජ මාෆියාවක් මෙරට ක්‍රියාත්මක බවයි.තිලංග සුමතිපාල මහතා ඒ මාෆියාවට සෘජුවම හවුල් බවත් ඔහු ක්‍රීඩා සමාජ වල ජන්ද බලය ලබාගැනීමට විවිධ අකටයුතුකම් වල නිරතවන බවත් රණතුංග මහතා චෝදනා කලේය.

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වන බොහෝ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සැක මතුවන බවද හෙතම චෝදනා කලේය.

ඊයේ ක්‍රීඩා ඇමතිවරයාද පෙන්වා දුන්නේ ඇතැම් හිතවත්කම් මත ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් එක්වන බවට තොරතුරු තමන්ටද දැනගන්නට ලැබී ඇති බවයි.ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලන බවත් මෙරට වැටී තිබෙන ක්‍රිකට් ගොඩගැනීමට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට බාරදෙන බවත් ඔහු ප්‍රකාශ කලේය.

වැඩි දුරටත් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ  කලේය,

ක්‍රීඩා 62ක් මා යටතේ තිබෙනවා. ඒත් ඉතා අසීරු අවස්ථාවක හැර කිසිම ක්‍රීඩාවකට අතුරු පාලක මණ්ඩල පත් කිරීමට මා සූදානම් නැහැ. සමහර ක්‍රීඩාවලට විශාල ප්‍රශ්න ගණනාවක් තිබුණත් ඒවට මුහුණ දී හොඳින් වැඩකටයුතු කරනවා. හොකී හා බැඩ්මින්ටන් සම්බන්ධව උසාවියේ නඩු කටයුතු සිදුවෙනවා. ඒත් මම ඒවට අතුරු පාලක මණ්ඩල පත් කරන්න කටයුතු කළේ නැහැ.

ක්‍රිකට්වලට අවුරුදු 8ක් අතුරු පාලක මණ්ඩල තිබුණා. ඒ කාලයේ ක්‍රිකට්වලට අත්වූ ඉරණම කවුරුවත් කතා කළේ නැහැ. දිගින් දිගටම අතුරු පාලක මණ්ඩල අවුරුදු දෙකෙන් දෙකට පත්වීම් සිදු වූ නිසා ඔවුන්ට අවුරුදු 5-6 සැලසුමකට යෑමට නොහැකි වුණා. පසුව තමයි ක්‍රිකට් නිලවරණය තිබුණේ.
මේ රටේ ජාතික ක්‍රිකට් නංවන්නයි කමිටුවක් දමලා නව වැඩපිළිවෙළක් සකස් කළේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය ප්‍රාදේශීය විදියට බෙදා තිබෙනවා. ප්‍රාදේශීය 4කට බෙදුවා. පළමු සහ දෙවැනි පෙළ කණ්ඩායම් 24 කලවම් කොට නව වැඩපිළිවෙළක් හදනවා. දැනට ක්‍රීඩකයො එන්නෙ ‘ඒ’ තලයේ කණ්ඩායමෙන් විතරයි. නමුත් නව ක්‍රමයෙන් හොඳම ක්‍රීඩකයො ක්‍රීඩා සමාජවලට එක් වෙනවා. අවශ්‍ය කරන පහසුකම් දුන්නා නම් ඔවුන්ට ඉදිරියට එන්න අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ප්‍රාදේශීය 4කට බෙදා පහසුකම් ලබාදී ක්‍රිකට් දියුණු කිරීම අපේ අරමුණයි.

ඡන්ද ගැන කල්පනා කරන්න එපා කියල මම ක්‍රිකට් පාලක මණ්ඩලයටත් කිව්වා. ඡන්ද 145ක් විතර දැනට තිබෙනවා. ඒක 75කට විතර අඩු කරන්න අපට පුළුවන් වේවි. ක්‍රිකට් ඡන්ද නිසා ක්‍රීඩා සමාජ විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බලය යොමු කරල මොකුත් කරන්නෙ නැතිව හිර කරල තියෙනවා. ඒක ගලවන්න ඕන. ඒක කරන්න බැරි වුණොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනවා.

තවද මේ මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ නව පුහුණුකරුවා ලෙස පත් කර ඇති චන්දික හතුරුසිංහ මේ මස අවසානයේදී වැඩ භාරගැනීමට නියමිත බවයි.

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *