Politic News

මහින්ද එලවා මෛත්‍රී ගෙන ඒම.ඔබ මෛත්‍රීට ජන්දෙ දුන්නනම් මෙය අනිවාර්යෙන් කියවන්න

මහින්ද රාජපක්ෂ පරාජය කර ඇතමුන් කියන ආකාරයට විප්ලවීය ජයග්‍රහණයක් යහපාලන ආණ්ඩුවට ලබා දුන්නේ දහසක් බලාපොරොත්තු තබා ගෙන ය. එහෙත් ඒවා ඉටු වී ඇද්ද යන්න මේ ලියන මොහොත වන විට ප්‍රශ්ණාර්ථයකි.

මහින්දට එල්ල වූ ලොකුම චෝදනාව වූයේ වංචාව හා දූෂණයයි. එම චෝදනාව බැහැර කළ අයට වඩා පිළිගත් අය වැඩි වූ බව මහින්ද රාජපක්ෂ ගේ තෙවන වර ප්‍රතිඵළය සාක්ෂි දරයි.

නමුත් මේ වන විට කඩ පිළේ කතා බහ කුමක්ද යන්න රට තොටේ ඇවිදින අයට නම් පැහැදිලි ය. “මහින්ද වැඩක් කර හොරා කෑවා. මුං කිසිම දෙයක් නොකර හොරා කෑවා” යන්න එම ජනතා මතයේ සාරාංශය යි.

මහ බැංකු ගණු දෙනුවේ දී ඝෘජුව පාරක්,වරායක්, ගුවන් තොටුපළක් හැදුනේ නැත. එය හුදෙක් ඉදිරි සංවර්ධන ව්‍යාපෘති වලට මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් වූවා පමණි. නමුත්, එහිදී සිදු වූ වංචාව ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව විය. වංචාව වූ පසු දොරින් දොර මහින්ද වාදීන් ගෙන් ඇසුන ප්‍රශ්නය වූයේ “වෙනස සැපද?” යන්නයි. දැඩි ලෙස යූ එන් පි යට ආදරය කළ අය කීවේ “මේක ලංකාව නේ; වෙනදා පුරැද්දට හොරා කෑවත් යහපාලන ආණ්ඩුව ඔන්න බලපල්ලා වගකිව යුත්තන්ට දඬුවම් දෙනවා” කියා ය. එවැනි “කැපුවත් කොල” යූ ඇන් පී කාරයන්ගේ අහිංසක බලාපොරොත්තුවක් තිබුනි. එම අහිංසක බලාපොරොත්තුවට ද වැඩි ආයුෂ තිබුනේ නැත.

ජනාධිපතිවරයාට එල්ල වූ පීඩනය හේතුවෙන් ඔහුට කොමිසමක් පත් කිරීමට සිදු විය. ඒ අනුව ඔහු සාධනීය පියවර තුනක් ගත් බව අපි දනිමු.

1. අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස නැවත පත් කිරීම වැලැක්වීම

2. ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් එකී වංචාව හෙලා දැකීම

3. ජනාධිපති කොමිසමක් පත් කිරීම යනු එම පියවර 3 වේ.

එය මේ සම්බන්ධයෙන් තැවුලට පත් වූවන්ට යම් අස්වැසිල්ලක් විය.එහෙත් ප්‍රශ්න වැලක් ආවේ කොමිසමෙන් පසු කාලයේ දී ය. කෝප් කමිටුව යනු හොරකම් අල්ලන්න පත් කළ පාරිල්මේන්තු මන්ත්‍රී වරැන්ගේ සංවිධානයකි. එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති ය. සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර, හර්ෂණ රාජකරැණා, හෙක්ටර් අප්පුහාමි, අජිත් පී. පෙරේරා වැනි යූ. එන්. පී. මන්ත්‍රීවරැද ඒ අතර විය.

මෙහි වැඩිම පිරිසක් මහින්දගේ හොරකම් ගැන දැඩි ලෙස විවේචනය කළ අය වූහ.එහෙත් කෝප් කමිටුවේ සිටි අර්ජුන් ඇලෝෂියස් ට දුරකතන ඇමතුම් දෙමින් හොරැ සමඟ නිරැවත් වූහ. සුජිව සේනසිංහට අනුව ඔහු අර්ජුන් ඇලෝෂියස් ට කතා කලේ බැදුම්කර වංචාව ගැන ඔහු ලියූ පොතට අවශ්‍ය කරැණු ලබා ගන්නට ය. එහෙත් පොත මුද්‍රණ ද්වාරයෙන් එලියට ආ පසු ඇමතුම් ලබා ගත්තා යන්න මේ වන විටත් හෙලි වී හමාරය.

රවී කරැණානායක ගැන වෙනම ඡේදයක් ලිවිය යුතුම ය. ඔහු ද මහින්ද රාජපක්ෂ දැඩිව විවේචනය කල පුද්ගලයෙකි. බැඳුම්කර හොරකමේ විශාලතම අවනම්බුවේ කෝටාව ඔහුට හිමි වේ. නමුත් ඔහුට ඇමති ධූරය නැති විය. චීනය වැනි රටක නම් මෙවැනි හොරකම් කළ අයට අනිවාර්යෙන්ම මරණ දඬුවම හිමි වේ. අපේ රටේ සිදු වන්නේ තාවකාලිකව ඇමතිකමෙන් ඉවත් කර ඊළඟ ඇමති සංශෝධනයේ දී නැවත ඇමති කමක් ලබා දීම ය. (තිලක් මාරපන ගේ සිදුවීම මතක් කර ගන්න. දැන් ඔහු නැවත ඇමති වරයෙකි)

බැඳුම්කර වංචාවට සම්බන්ධ අයට දඬුවම් ලැබේද නැද්ද අප දන්නේ නැත.එහෙත් මේ ලංකාව නිසා දඩුවම නොලැබෙන බවනම් 200%ක් විස්වාසය.

මේ වනවිට “කැපුවත් කොළ” යූ. ඇන්. පී. කාරයන් ගේ මුල්ලට තල්ලු කිරීමටත්,යන එන මං නැති කිරීමටත් සමත් වී ඇත. දැන් පාවෙන ඡන්ද දායකයන් ගේ “රතු කට්ට” දෙතුන් වතාවක් පැනලා ය. ඔවුන් මී ළඟ ඡන්දය එන තුරැ මඟ බලාගෙන සිටිති. සැමදා ආණ්ඩු වෙනස් කළ මේ පිරිස රටට හිතකරම ඡන්ද දායකයන් පිරිස වේ.

මෙහි බරපතළම තත්ත්වය මෙය නොවේ. මහින්ද පැරදුන ජනාධිපති වරණයේ දී මහින්ද මැතිවරණ ආසන 100 ක් පමණ ආසන්න වශයෙන් සුළු පරතරයකින් හෝ දිනුවේ ය. දැන් මේ ආණ්ඩුව ජනතාවට එපා වෙමින් පවතියි. ඒ අනුව මහින්ද එදා පැරදුන ඡන්දයේ දී ජයග්‍රහණය කළ ආසන ගණනට වඩා තවත් ආසන 10 ක් 12 ක් ජයගනු ඇතැයි සිතිය හැක. මේ අනුව සුළු ජාතික ආසන හැර සෙසු ආසන සියල්ලම පාහේ මහින්දගේ පොහොට්ටුව ජයග්‍රහණය කරනු ඇත. පුංචි ඡන්දයේ දී ග්‍රාමීය ජනතාව මහින්දට කොහොමත් බර ය. නඟර සභා වලදී කොහොමත් යූ එන් පී යට වාසි දායක වන අතර ප්‍රාදේශීය සභා වලදී මහින්දට වාසි ය. වැඩිපුර ඇත්තේ ප්‍රාදේශිය සභා ය. මහින්ද පැරදුන ජනාධිපති වරණයේ දී පවා මහින්ද ජයගත් ආසන වල ආසන්න වශයෙන් ප්‍රාදේශීය සභා දෙක බැගින් ඇත. ඒ අනුව මහින්ද දිනන ප්‍රාදේශීය සභා ගණන ගැන යම් අදහසක් ලබා ගැනීමට විශේෂඥ උපදෙස් අවශ්‍ය නැත. පුංච් ඡන්දයේ දි මහින්ද එක වැඩි ඡන්දයක් හෝ ලබා ගන්නේ නම්, වත්මන් ආණ්ඩුවේ පරාජයන් රුල්ලක ඇරඹුම එය වනු ඇත.

ඡන්දයේ දී මහජනයා කුමක් කරයිද ? කුමක් වනු ඇද්ද? කවුරැ දිනයිද ? මෙවැනි ප්‍රශ්න ඇති අයට පිළිතුර ඉහතින් දැක්වෙන පරිදි වන බව අකැමැත්තෙන් වුවද ලියා තැබිය යුතු වේ. කොට්ඨාස ක්‍රමයට ඡන්දය පවත්වන්නේ නම් මහින්දට තවත් වාසිදායක වනු ඇත. මේ වන විට පුංචි ඡන්දයේ අපේක්ෂකයෙකු වීමට වැඩිම තරඟය ඇති වී ඇත්තේ පොහොට්ටු අපේක්ෂකයන් අතර ය. ඒ ඔවුන් ජයග්‍රහණය කරන බව ඉඟි බිඟි ගම් දනව් වලින් ලැබෙමින් පවතින නිසා ය.

ආණ්ඩුව තවමත් ප්‍රමාද නැත. බැදුම්කර සිද්ධියට සම්බන්ධ අයට දඬුවම් ලබා දී ආණ්ඩුවට තමන්ට හිමි වීමට යන පරාජය යම් තරමකින් හෝ අඩු කර ගත හැක. විවිධ හේතු කියමින් ඡන්දය කල් දාන්න හදන්නේ ආණ්ඩුවද මේ සන්තෑසිය දන්නා නිසා ය. බොරැවට නිදා ගත් එකා කූද්දන්න බැරියම් සේද ආණ්ඩුව ඡන්ද නොතියා ඉන්න කරන දේවල් වළක්වන්න බැරි ය. කරන හැම දේම ඡන්දය කල් දාන දෘෂ්ඨි කෝණයේ ඒවා ය.

බැදුම්කර සිද්ධියට අමතරව වත්මන් ආණ්ඩුවට එල්ල වන චෝදනා කිහිපයකි.

1. සංවර්ධන ව්‍යාපෘති සිදු නොකිරීම

2. නෙළුම් කුළුන වැනි අනුමත වූ හා ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති වලට පවා මැදිහත් වී ඒවා වෙනස් කිරීම හා එකී වෙනස්කම් හොඳ පැත්තට වඩා නරක පැත්තට සිදු කිරීම. නෙළුම් කුළුනේ උස අඩු කිරීම, පෝර්ට් සිටිය නවතා නැවත ආරම්භ කිරීම ආදිය උදාහරණ වේ.

3. යුරෝපා රටවලට කඩේ ගොස් චීනයට බැන්න අය යුරෝපා රටවලින් බලාපොරොත්තු වූ සහාය නොලැබෙන බව දැන ගත් පසු නැවත චීනයට සමීප වීම.

4. ණය බර අඩු කරනවා යනුවෙන් කී අය යටතේ මහින්දගේ කාලයේ පැවති ඒක පුද්ගල ණය බරට වඩා වැඩි ණය බරක් උරැම කිරීම

5. ආර්ථික වර්ධන වේගය 7%, 8% වැනි මට්ටමේ පවත්වාගෙන ගිය මහින්ද එලවා දමා මේ වන විට ආර්ථික වර්ධන වේගය 4% දක්වා අඩු කර තිබීම.

6. උද්ධමනය අඩු කිරීමට අසමත් වීම හා මහින්ද විසින් වසර 10 ක් තනි ඉලක්කමේ සංඛ්‍යාවක් ලෙස පවත්වාගෙන ආ උද්ධමනය දශකයකට පසු ද්වී සංඛ්‍යා උද්ධමනයක් බවට පත් වීමේ පෙරමඟ සලකුණු පහළ වී තිබීම.

7. හැම පවුලටම වාහනයක් දෙන්න ආ අයට වාහන පෙන්නන්න බැරි වීම. සෑම අයවැයෙන්ම වාහන බදු වැඩි කරමින් මධ්‍යම පංතියේ වාහන සිහිනය බොඳ කිරීම.

8. සිගරට් මිල අහස උසට ඉහළ නංවා අසාමාන්‍ය ලෙස බදු ඉහළ නැංවීම. සිගරට් බොන අයගේ කුළකය ලංකාව තුළ ඉතා විශාල අගයක් ගන්නා අතර එය නොසලකා හැරීම ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිඵලයට අහිතකර වනු ඇත.

9. හොරැ ඇල්ලීමට පැමිණි අය පෙර සිටි හොරැන්ට වඩා හොරා කෑම හා හොරැ ඇල්ලීමට පත් කළ කෝප් කමිටු සාමාජිකයන් ද හොරැ සමඟ ඩීල් දැමීම.

10. බුදු දහමට ලබා දී තිබූ රාජ්‍ය අනුග්‍රහය නව ව්‍යවස්ථාව හරහා අහෝසි කිරීමට උත්සාහ දැරීම ඒවායින් කිහිපයකි.

දැන් ආණ්ඩුව “ගෙදර ගියොත් අඹු නසී; මඟ හිටියොත් තෝ නසී” පන්නයේ ගැටළුවකට මුහුණ දී ඇති අතර ආණ්ඩුව මඟ හිටීද ගෙදර යයිද යන්න කීමට තාම කල් වැඩි ය.අන්තිමට මේ ආණ්ඩුවත් මහජනතාවට කොකා පෙන්නූ බවනම් පැහැදිලිය.

– සී.දිසානායක –

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *