Sport News

මාලිංගටයි කුසල් ජනිත්ටයි කැපිල්ලක්

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර එක්දින තරඟාවලිය මේ දිනවල ඉන්දියාවේහී පැවැත්වේ.මේ වනවිට එක්දින තරඟ 2ක් පවත්වා ඇති අතර දෙපිළම එක් තරඟය බැගින් ජයග්‍රහණය කර ඇත.

ඉන්දියාව පළමු ටෙස්ට් තරඟය මෙන්ම පළමු එක්දින තරඟයද වේග තනතීරුවක අත්හදා බැලීමට ගොස් වැඩ වරද්දා ගත්තේය.ඒ ඔවුන් එළබෙන දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කරගන පුහුණු තරඟයක් ලෙස ක්‍රීඩාකිරීමට ගොස්ය.

කෙසේවෙතත් වේග තනතීරුවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් ශ්‍රීලංකා ක්‍රීඩකයින් පළමු ටෙස්ට් තරඟය ජය පරාජයකින් තොරව අවසන් කල අතර පළමු එක්දින තරඟය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කලේය.

වාසනාවට පළමු තරඟය ශ්‍රීලංකාව ජයග්‍රහණය කලද ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරන ඇතැම් ක්‍රීඩකයන් සම්බන්ධ ඉන්දියා මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළද දැඩි ලෙස විවේචනයක් එල්ල කර තිබේ.

ලකුණු ලබාගැනීමේ දළවේගය ඉතා පහලින් ඇති ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයෙකු එක්දින තරඟ රටාවකට යොදා ගන්නේ මන්දැයි ජත්‍යන්තර මාධ්‍ය ප්‍රශ්ණ කරයි.එමෙන්ම ලහිරු තිරිමාන්න කණ්ඩායමේ 11 දෙනා අතරට පැමිණීමත් පසුගිය කාලවකවානුවෙහි ඉහල දක්ෂකම් වල සිටි කුසල් ජනිත් වැනි ක්‍රීඩකයෙකු ඉවත්කර තිබීමත් හාස්‍යයට කරුණක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රීලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කුසල් ජනිත්ව මුල සිටම සංචිතයෙන් ඉවත්කර තිබූ බවයි.ඉන්දියා එක්දින තරඟාවලියට මුලින් නම්කල 15 දෙනා අතර කුසල් ජනිත් නොසිටි එම සංචිතය ක්‍රීඩා ඇමතිවරයාටත් හොරෙන් ඉන්දියාව බලා පිටත් කිරීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගෙන තිබුණි.

එහෙත් ක්‍රීඩා ඇමතිවරයාගේ මැදිහත්වීම මත එම ක්‍රීඩකයන් එදින නැවත නිවෙස්වෙත හරවා යැවූ අතර ඊට පසුදින ක්‍රීඩා ඇමතිවරයා අත්සන් කල සංචිතයේ හදිසියේ කුසල් ජනිත්ද ඇතුළත් කර තිබීම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ හේතුවක් විය.

කුසල් ජනිත්ව එක්දින සංචිතයට අවසන් මොහොතේ නම්කලද කණ්ඩායමේ 11 දෙනා අතරට ඔහු නම් නොකලේය.එහෙත් ශ්‍රීලංකා කණ්ඩායම දෙවනි එක්දින තරඟයේ ලද අන්ත පරාජය හේතුවෙන් අවසන් එක්දින තරඟයට බොහෝවිට තිරිමාන්න වෙනුවට කුසල්ට අවස්ථාව ලබාදීමට ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුව ඇත.එයද තාම නිල වශයෙන් වාර්ථා වන්නේ නැත.

එමෙන්ම ඉන්දියාවෙ වසර 8ක් පමණ IPL  තරඟ ක්‍රීඩාකර වැඩිම අත්දැකීම් ඇති ක්‍රීඩකයා වූ ලසිත් මාලිංග ශ්‍රීලංකා එක්දින සංචිතයෙන් ඉවත් කිරීම ඉතා අනුවන ක්‍රියාවක් බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කර තිබුනි.ලසිත් මාලිංග ක්‍රීඩකයන් 11 දෙනා අතරට නම් නොකලත් අඩුම තරමින් සංචිතයට හෝ නම්කර තිබුනානම් ඔහුගේ අත්දැකීම් වලින් ශ්‍රීලංකා කණ්ඩායමට විශාල දායකත්වයක් ලබාගැනීමට හැකියාව තිබූ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

ලසිත් මාලිංග වෙනුවට නම්කර ඇත්තේ දුශ්මන්ත චමීර බවත් ඔහු එක්දින තරඟයක් ජයග්‍රහණය කරවීමේ හැකියාවක් ඇති ක්‍රීඩකයෙක් ලෙස පෙනෙන්නට නැති බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

දුෂ්මන්ත චමීර මේ වනවිට එක්දින තරඟ 17කට ක්‍රීඩාකර ඇති අතර බිඳහෙලා ඇත්තේ කඩුලු 11ක් පමණි.ඔහු එක්දින තරඟවලදී පන්දු 613ක් යවා ඇති අතර එහිදී ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 604ක් ලබාදී ඇත.විකට්ටුවක් ලබාගැනීමේ සාමාන්‍ය ලකුණු 51කි.එවැනි තත්වයක් තුළ ඉන්දියාව වැනි කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට දුෂ්මන්ත චමීරව නම්කිරීම කාලෝචිත තීරණයක් වන්නේ නැතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

වාර්ථා වන ආකාරයට 20/20 සංචිතයෙන්ද ලසිත් මාලිංග ඉවත්කර ඇත.සුපුරුදු රිද්මයෙහි නැතිකමටත් වඩා පසුගිය කාලයේ ශ්‍රීලංකා ක්‍රිකට් පරිපාලනය සමඟ ගැටුම් ඇතිකර ගැනීම මාලිංගව ඉවත්කිරීමට ප්‍රධාන හේතුවක් බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන අනෙක් කරුණ වන්නේ සචිත් පතිරණ කණ්ඩායමට පැමිණෙන්නේ කුමන අංශයෙන්ද යන්නයි.ඔහු දඟ පන්දු යවන්නෙක් වුවඳ ඔහුගේ පන්දු වලට ප්‍රතිවාදීන්ට පහසුවෙන්ම ලකුණු රැස්කරගත හැකි බවත් ඔහු තරඟයක් ජයග්‍රහණය කරවීමේ හැකියාවක් ඇති පිතිකරුවෙකුද නොවන බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.දඟ පන්දු යවන්නෙක් කණ්ඩායමට අවශ්‍යනම් ටෙස්ට් තරඟයේ හොඳින් පන්දු යැවූ ලක්ශාන් සඳකැන්ට අවස්ථාව දීමට තිබූ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන තර්කයකි.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කණ්ඩායමට ආදේශ කරනවානම් දසුන් චානක වැනි ක්‍රීඩකයෙක් මඟහැරියේ මන්දැයි ඉන්දීය මාධ්‍ය ප්‍රශ්ණ කරයි.

කෙසේවෙතත් සචිත් පතිරණගේ පියා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලගේ ලඟම මිත්‍රයෙක් බව ක්‍රිකට් ගැන තතු දන්නා බොහෝ දෙනා පවසන කාරනයකි.ඒ අනුව සචිත් පතිරණ කණ්ඩායමට එන්නේ කාගෙ අනුහසින්ද යන්න පොඩි ළමයෙකුට පවා අවබෝධ කරගත හැකිය.

ලෝක ශූරතාවය දිනාදුන් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුණ රණතුංග මහතා පසුගියදා ප්‍රකාශ කලේ ජාත්‍යන්තර පිටියේ එක් තරඟයක් හෝ ක්‍රීඩාකර නැති පුද්ගලයන් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරන්නට පත්කර ඇති බවයි.

ජාත්‍යන්තර තරඟ පිළිබඳ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් වර්ථමාන ක්‍රිකට් පරිපාලනය සමඟ කටයුතු කිරීමට එක්නොවන බවත් ඒ හෙයින් වැඩබැරි පුද්ගලයන් පිරිසක් හා එක්ව තිලංග සුමතිපාල මහතා ශ්‍රීලංකා ක්‍රිකට් තවදුරටත් විනාශ කරමින් සිටින බවත් රණතුංග මහතා පසුගියදා පෙන්වා දුන්නේය.

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *