Sport News

දූෂීත තිලංගගේ උගුලට තවත් ක්‍රීඩකයෙක් හසුවන ලකුණු

ශ්‍රීලංකා පිළ අන්ත අසරණ කරමින් අද ඉන්දියාවේ දෙවන ටෙස්ට් තරඟයේ ජය පහසුවෙන්ම ලබාගත්තේය.කිසිදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් ශ්‍රීලංකාව පෙන් නොකෙරූ අතර පාසැල් මට්ටමේ ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩාකරන ආකාරය පමණක් ශ්‍රීලංකා ප්‍රේක්ශකයන්ට දැකගත හැකිවිය.

පසුගිය කාලය පුරාම ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වීම ක්‍රිකට් ප්‍රේක්ශකයෙක් හැටියට දරාගත නොහැකි වේදනාවකි.පකිස්තාන සංචාරයේ ටෙස්ට් තරඟ 2 හැර පසුගිය කාලයේ කිසිදු තරඟාවලියක් ශ්‍රීලංකාව ජයගත්තේ නැත.බංග්ලාදේශය,සිම්බාබ්වේ වැනි ක්‍රිකට් වලින් පසුපස සිටි රටවල් වලට පවා ශ්‍රීලංකාව පරාජය වූ අතර දකුණු අප්‍රිකාවට,ඉන්දියාවට පකිස්තානයට පූර්ණ තරඟාවලි පරාජයක් ශ්‍රීලංකාවට අත්විදින්නට සිදුවිය.

සංගක්කාර,මහේල,දිල්ශාන් ඉවත් වූ පසු ශ්‍රීලංකා කණ්ඩායමට කණ කොකා හඩන්නට විය.ඒ වෙනුවට නවක ක්‍රීඩකයන් හදුනා ගැනීමට පවා ශ්‍රීලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කර නැත.සංගක්කාර මහේල ඉවත්වී වසර 2ක් යනතුරු අදටත් ඔවුන් නැති නිසයි අපි පරදින්නේ යැයි ප්‍රේක්ශකයන් දුක්වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත.

දිගින් දිගටම ශ්‍රීලංකා ක්‍රිකට් බලධාරීන්ගේ දුර්වල පරිපාලනය නිසා ශ්‍රීලංකා ක්‍රිකට් වලට වටිනා සම්පත් රාශියක් නැතිවිය.අදටත් මුරලි මහේල සංගක්කාර වැනි ශ්‍රීලංකාව බිහිකල ප්‍රභලයො ශ්‍රීලංකා ක්‍රිකට් ගොඩදාන්න සම්බන්ධ වන්නේ නැත.

ක්‍රිකට් පරිපාලනය සමඟ ඇති වූ ගැටලු නිසා ශ්‍රීලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල ග්‍රැහැම් ෆෝර්ඩ් ඉල්ලා අස්විය.ඉන්පසු ශ්‍රීලංකා කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරු ලෙස සිටි නික් පෝතාස් ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්විය.තවත් නොබෝ දිනකින් නවක පුහුණුකරුවෙක් ශ්‍රීලංකාව කණ්ඩායමට පත්වීමට නියමිත අතර බොහෝවිය ඒ චන්දික හතුරුසිංහ විය යුතුය.

ශ්‍රීලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සිටි චම්පක රාමනායක ඉල්ලා අස්වූයේද ක්‍රිකට් පරිපාලනය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙනි.පසුව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්වූ අතර දැන් රුමේශ් රත්නායක පත්ව සිටියි.

ශ්‍රීලංකාවේ මාසෙන් මාසෙට පිතිකරණ පුහුණුකරු වෙනස් වන්නේය.කාලෙකට අවිශ්කය.කාලෙකට හශාන්‍ තිලකරත්නය.දැන් තිලාන් සමරවීරය.මීට අමතරව සනත් ජයසූරිය ඇතුළු ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වූයේද දිගින් දිගටම ශ්‍රීලංකා කණ්ඩායම පරාජයට පත්වීම දරාගත නොහැකිවය.දැන් ග්‍රැහැම් ලැබරෝයි ඇතුළු තේරීම් කමිටුවක්ද පත්ව සිටියි.

පුහුණුකරුවන් තේරීම් කමිටුව විතරක් නෙවේ ශ්‍රීලංකා කණ්ඩායමේ නායකයන්ද රොත්තක් සිටියි.පසුගිය කාලයේ ලෝකයේ වැඩිපුරම නායකයන් පත්කර ඇත්තේ ශ්‍රීලංකාවේය.මැතිව්ස් නායකත්වය අතහැර ගිය පසු චන්දිමාල් හා තරංග නායකත්වයට ගෙන ආවේය.තරංග හා චන්දිමාල් නැතිවිට හේරත්,කපුගෙදර,මාලිංග හා තිසර තාවකාලිකව ශ්‍රීලංකා කණ්ඩායමේ නායකයකන් ලෙස පත්විය.

මේ කුමන වෙනස්කම සිදුවූවත් ශ්‍රීලංකා කණ්ඩායමේ එක වෙනසක් සිදු වී නැත.ඒ ක්‍රිකට් පරිපාලනයයි.පුහුණුකරුවො,තේරිම් කමිටුව,නායකයො වෙනස් වුවද ක්‍රිකට් පරිපාලනය අදත් එලෙසමය.එමෙන්ම මොන අංශ වෙනස් වුවද ශ්‍රීලංක කණ්ඩායම ලබාගත් ජයග්‍රහණයක්ද නැත.එසේනම් වරද ඇත්තේ ක්‍රිකට් පරිපාලනයේද යන්න ඕනෑම කෙනෙකුට සිතෙන පැහැදිලි තර්කයකි.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු නායකයා වේ.මහේල,සංගක්කාර ඉවත්ව ගිය පසු ඔහු එක්දින තරඟ 31කට නායකත්වය ලබාදී ඇත.එහෙත් ඔහු ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 12කි.එම 12 අතරත් ශ්‍රීලංකාවට පිටුපසින් සිටින අයර්ලන්තයට තරඟ 2ක්,සිම්බාබ්වෙට තරඟ 2ක් හා බටහිර ඉන්දීය කොදෙව්වන්ට තරඟ 2ක් ඇතුළත් වේ.එබැවින් මැතිව්ස්ගේ නායකත්වය ගැන යම් ගැටලුවක් ඇත.වාර්ථා වන ආකාරයට නැවත ඔහුට එක්දින තරඟවල නායකත්වය බාරගන්න කිව්වත් ඔහු එය ප්‍රතික්ශේප කර ඇත.

උපුල් තරංගගේ නායකත්වය යටතේ තරඟ 22කට මුහුණ දී ඇති අතර එයින් ජයග්‍රහණය කර තිබෙන්නේ තරඟ 5ක් පමණි.එයත් සිම්බාබ්වෙට තරඟ 3ක්,බටහිර ඉන්දීය කොදෙව්වන්ට එක් තරඟයක් හා බංග්ලාදේශයට එක් තරඟයක් වශයෙනි.

උපුල් තරංගගේ නායකත්ව දුර්වලතා හේතුවෙන් තිලංග ප්‍රමුඛ ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රිකට් ආයතනය නව නායකයෙක් මේ වනවිට සොයමින් ඇත.වාර්ථා වන ආකාරයට ඒ තිසර පෙරේරාය.ඊට අමතරව අසේල ගුණරත්න,නිරෝශන් දික්වැල්ල හා ලහිරු තිරිමාන්නත් නිර්දේශිත නම් අතර සිටි.එම නිර්දේශ නම් අතර කණ්ඩායමේ රැදී සිටීමට පවා දක්ශතා ඇති එකම ක්‍රීඩකයා වන්නේ අසේල ගුණරත්න පමණි.අනිත් ක්‍රීඩකයන් එක තරඟයක සාර්ථක වූ විට තරඟ 10ක් පමණ අසාර්ථක වන ක්‍රීඩකයන්ය.

දිගින් දිගටම ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් බිල්ලට දෙමින් තිලංග ඇතුළු ක්‍රිකට් පරිපාලනය තම තනතුරු ආරක්ශා කර ගැනීමට මාන බලයි.මෙය ක්‍රීඩා ඇමතිවරයාට නොපෙනෙන අතර ඊට ඉහලින් ඉන්නා අගමැති ජනාධිපති පවා නොදකියි.පසුගිය කාලයේ ශ්‍රීලංකාව ලෝකයේ ප්‍රභලම කණ්ඩායම ලෙසට නම් දරා සිටියේය.මේ වනවිට ශ්‍රීලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වෙන ආකාරය දකිනා විට සිතට දැනෙන්නේ මහා වේදනාවකි.ඉන්දීය සමාජ මාධ්‍ය වල ශ්‍රීලංකාව කෙන්යාව වැනි රටකට සමාන කර තිබෙනවා දැක ගත හැකිය.ශ්‍රීලංකාව අද දිනයි හෙට දිනයි යනුවෙන් ප්‍රේක්ශකයන් හූල්ලනවා හැර දිනන දවසක් දකින්නටද නැත.එබැවින් මුලින්ම කර යුත්තේ සූදුකාරයින් පත්ව සිටින ශ්‍රීලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් කර එය වෘත්තිකයන්ට භාරදීමය.එසේ නොකර නායකයන් පුහුණුකරුවන් කොතෙක් වෙනස් කලද ශ්‍රීලංකාව ක්‍රිකට් වලින් නැවත ජයග්‍රහණය කරාවි කාටවත් විස්වාස කිරීමට නොහැකිය.

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *