අල් අකුරට පස්සේ යංසය යෙදෙන්නේ නැහැ – මේ නම් එපා – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

‘ආර්යා’ යන නම මුල් කර ගනිමින් මතු වූ ගැටළුවක් අද දෙරණ පුවත් විකාශයෙන් වාර්තා විය.ගැටළුව මතුව ඇත්තේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් උප්පැන්න සහතිකයේ ඇති නම වෙනුවට දෙපාර්තමේන්තුව සතු අක්ෂරවලින් අදාළ නම වෙනස් කිරීම හේතුවෙන්.

තම දියණියගේ උප්පැන්න සහතිකයේ නම හැඳුණුම්පතට දැමීමේදී වෙනසක් වී ඇති බවට පවසමින් මවක් අද (28) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.ඇය සඳහන් කළේ, උප්පැන්න සහතිකයේ ඇති සස්නි ආර්‍යා සමරවික්‍රම නැමැති නම හපුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනත්තුව විසින් වෙනස් කර ඇති බවයි.

තම දියණියගේ හැඳුනුම්පතේ සිදුව ඇති වෙනස ගැන විමසීමට ගිය උදය කුමාරි රණසිංහ මහත්මියට ලැබී තිබුණේ මෙවන් පිළිතුරක්. උදය කුමාරි රණසිංහ මහත්මිය සමඟ ඇති වු සංවාදය මෙසේ විය.

“මගේ දුවගේ නම ආර්යා..’ආ’ යන්න..’ර්’…සහ යංසය එන්න ඕනේ. ID ඔෆිස් එකෙන් අපිට දීලා තියෙන්නේ ‘ආ’…’ර්’..සහ ‘යා’ යන්න. එතකොට ඒක වැරදියි.වැරදි නිවැරදි අංශයට ගියාම කිව්වා මේක කරන්න බැහැ,දරුවගේ උප්පැන්නය වෙනස් කරන්න කියලා. එයලා කියන්නේ ර් යන්නට පස්සේ යංසය වදිනනේ නැහැලු. අම්මා කෙනෙක් විදිහට දරුවගේ නම වෙනස් කරන්න බැහැ. එතකොට ඒක බොක්කේ බඩේ ඉඳලම කරන්න වෙනවනේ.“

පසුව ඇය පුද්ලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සිය ප්‍රශ්නය යොමු කළේය.

“යනකොටම කිව්වා මේවා කරන්න බැහැ කියලා. උප්පැන්නය වෙනස් කරන්න කියලා. මම කිව්වා ඔය සොෆ්ට් වෙයාර් එක දාගන්න එක පොඩි දෙයක් කියලා. එයාට කේන්ති ගිහින් කිව්වා මීට පස්සේ ආර්්‍යා, තූර්යා වගේ නම් මීට පස්සේ දාන්න එපා කියලා රෙජිස්ටර් ජනරාල්ට කියන්න කියලා. ලියුමක් දෙන්නම් කිව්වා නම් දෙකම එක්කෙනෙක්ගේ කියලා. ලියුම පරක්කු වුණා. අහද්දි කිව්වා ලියුම ගහන්නත් යංසය නැහැ කියලා.“ යනුවෙන් පැවසීය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙලෙස අදහස් පළ කළේය.පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් මෙහෙයුම් හා තොරතුරු තාක්ෂණ හර්ෂ ඉලුක්පිටිය කියා සිටියේ,

“අපි යුනිකෝඩ් පාචිච්චි කරන්නේ.අපිට චෝදනාවක් තියෙනවා යංසය නැහැ කියලා.මේ තියෙන්නේ යංසය භාවිත කරලා ප්‍රින්ට් කරපු හැඳුනුම්පත්.අල් අකුරට පස්සේ යංසය යෙදෙන්නේ නැහැ.ඉල්ලන හැම එකක්ම දෙන්න අපිත් කැමතියි. නමුත් දෙපාර්තමේන්තුවක් විදිහට අපිට මෘදුකාංගය වෙනස් කරන්න බැහැ. වැරැද්දක් තියෙනවා නම් උප්පැන්න සහතිකයේ 13වෙනි වාක්‍යයට අනුව වෙනස් කරගන්න පුළුවන්.. විවාහ උප්පැන්න රෙජිස්ටාර්වරු රීතින්ට පරිභාහිරව නම් ලියනවා.

කෙසේ වෙතත් තම දෙපාර්තමේන්තුව තුළින් යම් වැරැද්දක් සිදුව ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සහ ජාතික හැඳුනුම්පත් ‍දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය මානව හිමිකම් කොමිසමේදී පිලිගෙන තිබේ.

“එතනට ආපු හැඳුනුම්පත් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය පිලිගත්තා වැරද්දක් වෙලා තියෙනවා කියලා. දැනට ලියුමක් දෙන්න පොරොන්දු වුණා. සොෆ්ට් වෙයාර් එකක් දාලා හරිගියොත් ආර්යා කියලා නම දාලා දෙන්න පොරොන්දු වුණා.”