Sport News

නව එක්දින නායකයා හෙට එළියට.තිසර ඇන්ජලෝ පෙරමුණෙහි

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන සඳහා නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්‌ට හෝ තිසර පෙරේරාට ලබාදෙන ලෙස යෝජනා කිහිපයක්‌ තේරීම් කමිටුවට ලැබී ඇතැයි ‘දිවයින’ ට වාර්තා වේ. නව එක්‌දින නායකයා හෙට (30 දා) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්‌ නායකත්වය යළිත් භාර ගැනීමට මැළිකමක්‌ දක්‌වන බව වාර්තා වන අතර එම හේතුවෙන් තිසර පෙරේරාට කණ්‌ඩායමේ නායකත්වය ලබාදීමට යෝජනා වී තිබේ. මීට කලින් එක්‌දින කණ්‌ඩායමේ නායකත්වයට ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්‌වැල්ල යෝජනා වී තිබුණද ඔවුන්ගේ වත්මන් දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් ඒ සියල්ලටම වඩා තිසර පෙරේරා මේ වන විට අදාළ තනතුරට සඳහා ඉස්‌මතු වී ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට නියමිත චන්දික හතුරුසිංහ සමගද මීළඟ එක්‌දින නායකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වන අතර එහිදී ඔහු ඇන්ජලෝ මැතිව්ස්‌ව යෝජනා කර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ක්‍රිකට්‌ ප්‍රධානියකුගෙන් ‘දිවයින’ විමසන ලදුව, හතුරු මෙයාවම ඕනි කියල බල කරලා නැහැ. ඔහු දෙන ඕන නායකයකු සමග කණ්‌ඩායම ඉදිරියට ඇදගෙන යයි. අපි ගොඩක්‌ කට්‌ටිය කියන්නෙ මේ වෙලාවෙ තිසර පෙරේරාට දීල බලමු කියලා.’ යනුවෙන් අදාළ බලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පාකිස්‌තානය සමඟ පැවැති විස්‌සයි විස්‌ස තරගාවලියේදී තිසර පෙරේරා පළමු වරට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වයට පත්වූ අතර එහිදී ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් කණ්‌ඩායමේ ක්‍රීඩකයන් වඩාත් පැහැදීමකින් කටයුතු කර ඇති බව ක්‍රිකට්‌ බලධාරීන්ට අනාවරණය වී තිබීම හේතුවෙන් තිසර පෙරේරාට නායකත්වය ලබාදීමේ අදහස ඉස්‌මතුව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්‌ ශ්‍රී ලංකාවේ සාර්ථකම එක්‌දින නායකයන්ගෙන් එක්‌ අයකි. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී ප්‍රතිශතය 51.07% ක්‌ ලෙස වාර්තා වේ. ජයග්‍රාහී ප්‍රතිශතකයක්‌ 50% කට වැඩියෙන් රදවා ගත් එක්‌දින නායකයන් අතර මැතිව්ස්‌ පසු පසින් සිටින්නේ කුමාර් සංගක්‌කාර (65.85%), සනත් ජයසූරිය (58.26), මහේල ජයවර්ධන (58.05) සහ මාවන් අතපත්තුට (51.07) පමණි. නමුත් මැතිව්ස්‌ නායකත්වය දැරූ බොහෝ තරගවල මහේල සහ සංගක්‌කාර ක්‍රීඩා කර තිබේ.

28 හැවිරිදි තිසර පෙරේරා එක්‌දින තරග 125 කදී අර්ධ ශතක හතක්‌ සමග මුළු ලකුණු 1441 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 17.57 කි. එහිදී ඔහු ලබා ඇති කඩුලූ සංඛ්‍යාව 133 කි. යම් හෙයකින් ඔහුට නායකත්වය හිමි වුවහොත් ශ්‍රී ලංකාවේ 22 වැනි එක්‌දින නායකයා වශයෙන් සටහන් වනු ඇත. කෙසේ වෙතත් නව නායකයා පත්කිරීම හෝ නොකිරීම හෙට තීන්දු වන අතර යම් හෙයකින් නව නායකයකු පත්කර ගැනීමට නොහැකි වුවහොත් උපුල් තරංගටම ඉන්දියානු සංචාරය භාරදීමට නියමිතව තිබේ. තරංග මෙහෙයවූ එක්‌දින තරග 22 කින් 16 ක්‌ම පරාජය වී තිබීම හේතුවෙන් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රොයි නව නායකයකු සොයන බව ‘දිවයින’ ට පැවසීය. ‘අපිට අලුත් නායකයකු අවශ්‍යයි. යෝජනා සහ අදහස්‌ තියෙනවා. හොඳම කෙනාව තෝරනවා’ යෑයි පැවසීය.

මූලාංශ්‍රය දිවයින පුවත්පත

 

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *