දිස්ත්‍රික්ක 07කට නාය යෑම් අවදානම්

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ජනතාව කඳු නාය යෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

නාය යෑම් ලක්ෂණ දුටු වහාම අදාළ ස්ථානයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානවලට යන ලෙසද එම සංවිධානය සඳහන් කරයි. හෙට (19දා) සවස 2.30 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු වේ.

පාසල් සිසුවියන් දෙදෙනෙකු සැඩ පහරට හසු වි කොත්මලාඔයට ගසාගෙන ගොස් ඇති බව ආගරපතන පොලීසිය පැවසිය.

ආගරපතන ප්‍රදේශයට අද (18) පස්වරුවේ ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග කොත්මලේ ඔයට ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් තරණය කර නිවසට යාමට උත්සාහ කළ පාසල් සිසුවෙක් සහ සිසුවියන් දෙදෙනා ජල පහරට හසු වි ඉන් පාසල් සිසුවා දිවි බේරාගෙන ඇති බවත්, පාසල් සිසුවියන් දෙදෙනා අතුරුදහන් වි ඇති බවත්, ආගරපතන පොලීසිය පවසයි.

හොර්ටන් තැන්න ප්‍රදේශයට ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග කොත්මලාඔය මේ වන විට පිටාර ගලා ඇති අතර, ඉහළ කොත්මලේ ජලාශයද වාන් දොරටු තුනක් මේ වන විට විවෘත කර ඇත.අතුරුදහන් වු පාසල් සිසුන් දෙදෙනා අවුරුදු 12 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, එම සිසුවියන් දෙදෙනා සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවයි ආගරපතන පොලීසිය පැවසුවේ.