මහින්දට රනිල්ගෙන් තෑග්ගක් – ඇමතිවරු 3 ක් මීට මොහොතකට කලින් දිවුරුම් දෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් මණ්ඩලයට අද (28) යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.

එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන සතියට කල්තැබූ බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර අමාත්‍යවරුන්ගේ විෂය පතයන් සංශෝධනය හේතුවෙන් නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති වරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ රංජිත් මද්දුමබණ්ඩාර රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය වරයා ලෙසත් පී. හැරිසන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් සහ වසන්ත සේනානායක විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයා ලෙසයි.

අමාත්‍ය පී.හැරිසන් මහතාගේ විෂය පතයට අයත් ව තිබූ ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමඟ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාට හිමිව තිබේ.එමෙන්ම පසුගිය වසරේ සිදුවු ආණ්ඩු පෙරළිය අවස්ථාවේ පක්ෂ මාරු කිරීම හේතුවෙන් ඇමති ධූරය අහිමි වු වසන්ත සේනානායක මහතාට යළි රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිවී තිබේ.