කාන්තාවන්ට සැත්කමට කලින් “වෙල්කම් ඩ්‍රින්ක්” බොන්න දීලා

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27) සවස් වනවිට කාන්තාවන් 45 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර තිබූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.

කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර , අඹන්පොළ , පොල්ගහවෙල , පොල්පිතිගම , හිරිපිටිය , රිදීගම ප්‍රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

මේ හේතුවෙන් රෝහල තුළ අධික තදබදයක්ද ඇතිවී තිබෙන ආකාරයක් දැකගත හැකිවිය.මාධ්‍ය මගින් දැනුම්වත් කිරීම හේතුවෙන් සැකකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කිරීමට කාන්තාවන් රෝහලට පැමිණෙමින් සිටියි.

ඔවුන් හැඬූ කඳුළින් තම පැමිණිලි ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ අතර ඔවුහු ඒ සඳහා සාක්ෂි සටහන් ලෙස ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු සඳහන් රෝග විනිශ්චය කාඩ්පත්ද ඉදිරිපත් කළහ.

කාන්තාවන් කීපදෙනෙකුම එම වෛද්‍යවරයා අතින් සිසේරියන් සැත්කම් වලට භාජනය වීමෙන් පසුව දරුවන් නොලැබීම මෙන්ම වෙනත් ශාරීරික අතුරු ආබාධ වලට තමන් ගොදුරුවී සිටින බවට හඬා වැටෙම්න් ප්‍රකාශ කළහ.

මෙම පැමිණිලි වලදී විශේෂ අවධානයක් යොමුවූයේ ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමට ලක්කිරීමෙන් පසුව සම්පුර්ණයෙන්ම අන්ධ භාවයට පත්වූ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තරුණ කාන්තාවක් සම්බන්ධයෙන්ය.

ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ 2010 වසරේදී තමන්ට සිසේරියන් සැත්කම කළ බවද එම සැත්කමට පෙර “වෙල්කම් ඩ්‍රින්ක් ” එකක් බව පවසමින් ඉතාම තිත්ත රසැති කොළ පැහැයෙන් යුත් බීමක් තමන්ට බීමට දුන් බවද ඇය ප්‍රකාශ කළාය .

එම බීමෙන් අනතුරුව තමන්ට වසර තුනක් යනවිට තම දෑසම සම්පුර්ණයෙන්ම නොපෙනී ගිය බවද වෛද්‍ය පරීක්ෂණ වලින් පවා මේ වනතෙක් ඊට හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව කියන ඇය දෑස් නොපෙනීමට සහ ඉන් පසුව තමන්ට දරුඵල නොලැබීමට හේතුව ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා බවට සැකකරන බවද සඳහන් කළාය.

මෙසේ පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් සියලුම දෙනා තරුණ වයසේ පසුවන එක් දරුවෙකු පමණක් සිටින මව්වරුන් වූ අතර ඔවුන් සියලුම දෙනා තම සැත්කම් වලට අදාල වෛද්‍ය වාර්තාද රැගෙනවිත් සිටියහ.

මෙසේ පැමිණිලි ඉදිරිපත් කරන පිරිස තවත් ඉහළ යා හැකි බවද එම පැමිණිලි සියල්ලම බාර ගැනීම සඳහා උසස් නිලධාරිනියක ගෙන් සමන්විත නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවද රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය .

ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.

සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය.

එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

ඇතැම් මව්වරුන්ට සිදුකරන එල්.ආර්.ටී සැත්කම් යනුවෙන් හඳුන්වන්නේද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය.

මේ අතර චෝදනා කිහිපයක් මත සැකපිට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ‍ප්‍රසව හා නාරි වෛද්‍යවරයා 2013 වසරේ දඹුල්ල රෝහලේ සිදුකළ සිසේරියන් සැත්කමකින් පසු තමන්ට දරුඵල අහිමි වූ බව පවසමින් කාන්තාවක් අද (27) දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් මෙසේ දඹුල්ලට පැමිණ දඹුල්ල රෝහලට ගොස් මේ පිළිබඳව රෝහල දැනුවත් කර පසුව දඹුල්ල පොලීසියට පැමිණ ළමා හා කාන්තා කාර්යාංශයේ මේ පිළිබඳව පැමිණිල්ලක් ගොනු කළාය.

දඹුල්ල පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි පැමිණිල්ල සටහන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි පිටපත් කියැවීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

2013 වසරේ දඹුල්ල රෝහලේ දරු ප්‍රසූතිය සඳහා තමන් නේවාසිකව සිටි බවත් පසුව මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකට භාජන කිරීමෙන් අනතුරුව මේ වන තුරුත් දෙවැනි දරු ඵල නොමැති වීම නිසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ඇය පොලිසියට සඳහන් කර තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන මෙම වෛද්‍යවරයා 2013 පෙබරවාරි 26 වන දින කුරුණෑගල රෝහලේ සිට දඹුල්ල රෝහලට ස්ථාන මාරු ලබා තිබිණි. පසුව 2015 07 මස තුන්වන දින රැකියාවෙන් ඉල්ලා අස්වී එවකට පැවැති මහ මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.

නැවතත් 2016. 08 මස 19 දින අමාත්‍යංශයේ විශේෂ ලිපියකින් දඹුල්ල රෝහලට සේවයට අනුයුක්ත වී තිබේ. පසුව 2017 පෙබරවාරි 16 වන දින වාර්ෂික ස්ථානමාරු ක්‍රමවේදය යටතේ නැවතත් දඹුල්ල රෝහලෙන් කුරුණෑගල රෝහලට ස්ථාන මාරු ලබා ඇතැයි පොලිසිය කියයි.

චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පවත්වන සියලුම පරීක්ෂණ දේශපාලන අතපෙවීම් තොරව සාධාරණව පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අද (27) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලද මේ මාධ්‍ය සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය , රජයේ විකිරණවේදීන්ගේ සංගමය , ගිලන්රථ රියදුරන්ගේ සංගමය රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර සංගමය , ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය , ශ්‍රී ලංකා නිදහස් සුවසේවා සංගමය , සමස්ත ලංකා සුව සේවක සංගමය යන වෘත්තීය සංගම් වල ප්‍රධාන ක්‍රියාකාරීන් සහභාගි වූහ.