රජයේ සේවකයින් රාජකාරි නොකර පාටියකට ගිහින් – ඒ මදිවට පොලීසි යන්නයි කතාව – Video

ජනතාවගේ මුදලින් වේතන ලබන රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාප හේතුවෙන් සේවා ලබාගැනීමට යන ජනතාව පත්වන අපහසුතා අප අවස්ථා ගණනාවකදී හෙළි කළා.විවාහ උත්සවයක් හේතුවෙන් අද දිනයේ ද කුරුණෑගල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෛනික කටයුතු අඬපන වී තිබුණා.කුරුණෑගල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත අද දිනයේ පුද්ගලයන් 400 කට අධික පිරිසක් පැමිණ තිබුනේ රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබාගැනීම සදහායි.

එහෙත් උදේවරුවේ පැමිණි පිරිසෙන් කොටසකට පමණක් අංක ලබාදී නිලධාරින් දෙදෙනෙකු පමණක් ඉතිරි කර අනෙක් පිරිස විවාහ මංගලෝත්සවයකට ගොස් තිබුණා.ඒ හේතුවෙන් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වුයේ වෛද්‍ය සහතික ලබාගැනීමට නොහැකිවීමත් සමගයි.පැමිණි සිටි පිරිස තම අපහසුතාව පිළිබදව සේවයේ සිටි වෛද්‍යවරයෙකුගෙන් මෙලෙස ප්‍රශ්න කළා.විවාහ උත්සවයට ගිය සේවක පිරිස පස්වරුවේ නැවත සේවා ස්ථානයට පැමිණීමත් සමග ඔවුන්ට ජනාතාවගෙන් මෙලෙස විරෝධය එල්ල වුණා.මෙරට බදු ගෙවන ජනතාවගේ මුදලින් වේතන ලබමින් තම පෞද්ගලික අවශ්‍යතා සදහා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම කොතෙක් දුරට සාධාරණ ද ?

අපට මෙම නිලධාරීන්ගෙන් ඇසීමට ඇති පැනය එයයි.(උපුටාගැනීම හිරු)