කල්ලඩි පාලම අසල උණුසුම් තත්වයක් – ඉවත් වෙන්න කඳුලු ගෑස් ගැහුවත් වැඩක් නෑ

මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අද (27) රාත්‍රීයේ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ ත්‍ රස්ත වාදියා ගේ හිස කොටස මඩකලපුව කල්වියන්කාඩු  හින්දු සුසාන භූමියෙන් ඉවත්කර ගන්නැයි බලකරමින් මඩකලපුව කල්ලඩි පාලම අසල පිරිසක් විරෝධතාවයක නිරතවූහ.

ත්‍ රස්ත වාදියෙකුගේ මළසිරුරක් හින්දු සුසාන භූමියක මිහිදන් කිරීමට ඉඩදිය නොහැකි බව පවසමින් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයේ නිරත වී ඇතැයි පොලිසිය කියයි.

අධිකරණමය ක්‍රියාදාමය ඔස්සේ පොලිසිය මෙම ගැටළුව නිරාකරණය කරන බව පවසා ඇතත් වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිස පොලිසියේ පොරොන්දුව ඉවත දමමින් කල්ලඩි පාලම අසල මාර්ගයේ විරෝධතාවය අඛණ්ඩව සිදුකර ඇතැයි ද පොලිසිය පැවැසීය.